fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සටන්කරුවකු අතින් ලියැවුණු 'සීතාවක හටන' සියවස් 5කට පසු එළිදකී

    සටන්කරුවකු අතින් ලියැවුණු ‘සීතාවක හටන’ සියවස් 5කට පසු එළිදකී

    සීතාවක යුගයේ දී සජීවීව සටන්වලට දායක වූ අයෙකු ලෙස සැලකෙන අත්තන්හරි අබය අලහප්පෙරුම විජයවර්ධන කවියා විසින් සීතාවක යුගයේදීම (1507දී) රචනා කරන ලද ‘සීතාවක හටන’ කෘතිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත අද(10) දින පිළිගන්වා තිබේ.

    සටන සියැසින් දුටු සටන්කරුවාගේ හැඟීම් කැටි කොට ලියන ලද හටන් කවි 1120ක් පමණ මෙම කෘතියෙහි ඇතුළත් ය.

    සිංහල ප්‍රශස්ති හා හටන් කාව්‍ය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ග්‍රන්ථය මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී අගමැතිවරයා වෙත පිළිගැන්විණ.

    ‘සීතාවක හටන’ සම්මානිත මහාචාර්ය රෝහිණි පරණවිතාන විසින් සංස්කරණය කර ඇත.

    මෙම රචනය සංස්කරණය කර මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කරන්නේ, පළමු වතාවටය.

    සීතාවක යුගයේ සජීවීව සටන්වලට දායක වූ අයෙකු ලෙස සැලකෙන අලහප්පෙරුම කවියාගේ මෙම හටන් කාව්‍ය, පැරණි ම සිංහල හටන් කාව්‍ය ලෙසද විද්‍යාර්ථීන්ගේ ආශ්‍රයට යොමුවිය යුතු කෘතියකි.

    අනෙක් පැත්තෙන්, සීතාවක මායාදුන්නේ සහ පළමුවන රාජසිංහ රජවරු මෙහෙයවූ යුද්ධ පිළිබඳ රචනා වූ මෙම කෘතිය ඒ යුගයේ දේශපාලන තත්ත්වය, පොදු ජනතාවගේ සිතිවිලි, ඔවුන්ගේ බස් වහර ගැන හෙළි කරන්නකි.

    ඓතිහාසික වටිනාකමකින් යුක්ත වන මෙම ‘සීතාවක හටන’ කෘතිය පිළිබඳ පහත වීඩියෝවෙන් දැක්වෙන විවරණය ඉදිරිපත් කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ, සිංහල අධ්‍යයනාංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්.එම්.කල්‍යාණි විජේසුන්දර මහත්මිය විසිනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.