fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'නැගී එන ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය' සම්මානය ශ්‍රීලංකන් වෙත

    ‘නැගී එන ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය’ සම්මානය ශ්‍රීලංකන් වෙත

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), පසුගියදා ඩුබායි නගරයේදී පැවති ප්‍රථම ‘Arabian Cargo Awards’ සම්මාන උළෙලේදී ‘නැගී එන ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය’ (‘Emerging Cargo Airline) සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

    භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඩුබායි නගරයේ පළවන ප්‍රධානතම සඟරාව වන CargoTalk මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි.

    මැද පෙරදිග කලාපයේ ක්‍රියාත්මක වන ගුවන් භාණ්ඩ ප්‍රවාහන හා කාර්ය සම්පාදන සේවා සමාගම් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලෙහි අරමුණ වූ අතර, එහිදී මෙම සම්මානය හිමි වීම, දකුණු ආසියාව හා මැද පෙරදිග අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට දායක වන සේවාවක් වශයෙන් ශ්‍රීලංකන් කාගෝ සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන සාධකයක් විය.

    “Arabian Cargo Awards සම්මාන උළෙල ප්‍රථම වරට සංවිධානය කිරීම අප සියලු දෙනාටම සුවිශේෂී අත්දැකීමක් වුණා. නාමයෝජනා ඉදිරිපත් කිරීමේ හා ඡන්දය ප්‍රකාශය කිරීමේ ක්‍රියාවලිය දෝෂ රහිතව සහ පූර්ණ විනිවිදභාවයකින් යුක්තව සිදුකිරීමට අප පියවර ගත්තා. මැද පෙරදිග කලාපයේ භාණ්ඩ ප්‍රවාහන හා කාර්ය සම්පාදන ක්ෂේත්‍රයට ලබාදුන් විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙහිදී ඇගයීමට ලක්වූ සියලුම පාර්ශ්වයන් සමග ඉදිරියටත් ඵලදායී සම්බන්ධතාවන් පවත්වාගෙන යාමට අප බලාපොරොත්තු වනවා.” Cargo Talk Middle East සඟරාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ඇබිගේල් මතායස් මහත්මිය පැවසුවා ය.

    “මැද පෙරදිග කලාපයට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා සපයන්නෙකු ලෙස අපගේ උත්සාහයන් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. මේ වනවිට මැද පෙරදිග කලාපය ලොව ප්‍රධානතම භාණ්ඩ ප්‍රවාහන සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබෙනවා. අපගේ පුළුල් සේවා ජාලය, කාර්යක්ෂම ගුවන් සම්බන්ධතා සහ විශිෂ්ට සේවාව සමගින් මැද පෙරදිග කලාපය සහ දකුණු ආසියානු කලාපය අතර වෙළඳ ගනුදෙනු කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වීම අපගේ අරමුණයි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ සාමාන්‍යාධිකාරී චමින්ද පෙරේරා මහතා පැවසී ය.

    ශ්‍රීලංකන් කාගෝ මේ වනවිට යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව ඇතුළු කලාප රාශියක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සපයයි.

    තම හවුල්කරුවන් සමග එක් වී මාර්ගස්ථ ප්‍රවාහන පහසුකම්ද පිරිනමමින්, ශ්‍රීලංකන් ගුවන් සේවාවේ සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන රටවලින් ඔබ්බට පවා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සැපයීමට ශ්‍රීලංකන් කාගෝ සමත් වී ඇත.

    එමෙන්ම විශිෂ්ට තලයේ ගබඩා පහසුකම් සහ අතිනවීන භාණ්ඩ හැසිරවීමේ යන්ත්‍රෝපකරණද සමගින් ශ්‍රීලංකන් කාගෝ, ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට අදාළ සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබාදෙන සේවා සම්පාදකයෙකු ලෙස ඇගයීමට ලක් වී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.