fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතුරුදන් අර්ජුන් මහේන්ද්‍රන් ජාත්‍යන්තරයෙන් මතුවෙයි (📹)

    අතුරුදන් අර්ජුන් මහේන්ද්‍රන් ජාත්‍යන්තරයෙන් මතුවෙයි (📹)

    මෙරට සිදුවූ මහබැංකු බැඳුම්කර වංචාවේ චෝදනා සම්බන්ධයෙන් මෙරට අධිකරණයෙන් සැඟවී විදේශගත වී සිටින, ජාත්‍යන්තර පොලීසිිය මගින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ජාත්‍යන්තර නාලිකාවකින් මතුවී තිබේ.

    ඒ ඊයේ(11) එම නාළිකා‍ව සමඟ ඔහු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඔස්සේයි. සීඑන්එන් පිලිපීන නාලිකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රිකෝ හිසෝන් සමඟ The Final word වැඩසටහන සමඟ එක්වෙමින් අර්ජුන් මහේන්ද්‍රන් සාකච්ඡා කර තිබුණේ මෙරට ආර්ථික අර්බුදය, ඊට හේතුවූ කරුණු සහ ඉන් මිදීම ගැනය.

    සිංගප්පූරුවේ සිට සූම් වීඩියෝ හමුව ඔස්සේ එම නාළිකාව සමඟ අර්ජුන මහේන්ද්‍රන් සාකච්ඡාවේ නිරත වන බවට පෙනී යයි. ‍මේ වනවිට නම වෙනස් කරගෙන සැඟවී සිටින බව කියන මොහු මෙම සම්මුඛ සාකච්ඡාවට එක්ව සිටියේ අර්ජුන මහේන්ද්‍රන් යන නමින් හිටපු මහබැංකු අධිපතිවරයා ලෙසයි.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට තුඩු දුන් හේතු පිළිබඳව අර්ජුන මහේන්ද්‍රන් එම නාළිකාවට පවසා තිබුණේ 2019 සිට ශ්‍රී ලංකාවට තමන්ගේම ගැටලු තිබු බවයි. ඒ අතර 2019 වසරේ පාස්කු ඉරිදා දේවස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සංචාරක ක්ෂේත්‍රයේ විශාල පසුබෑමකට හේතු වූ බවත් දැනට උද්ගතවී ඇති උද්ධමනය ඇති කළේ ඉතා හදිසියේ බදු කපා දැමූ නව රජය බවත් ඔහු පවසා තිබේ. රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට මාරුවීම කෘෂිකාර්මික අංශයට, විශේෂයෙන්ම මෙරට නිෂ්පාදන අපනයනයට මහත් සේ බලපෑ බවත් ඔහු පවසා ඇත.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කළ හැකි ආකාරය ගැන ද මහේන්ද්‍රන් පවසා ඇත්තේ පෙර බදු අනුපාතවල වැඩි වීමක් සිදු විය යුතු බවත් කෘෂිකාර්මික පිළිවෙත් නැවත සකස් කළ යුතු බවත් ය.

    අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකරුවායි.

    අර්ජුන් මහේන්ද්‍රන් විසින් අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස්කර ඇති බවට ජාත්‍යන්තර පොලීසිය වාර්තා කර ඇතැයි නීතිපතිවරයා 2020 වසරේ ජුනි 16 වැනිදා මහාධිකරණයට දැනුම් දී තිබුණි.

    සීඑන්එන් පිලිපීන නාලිකාව සමඟ අර්ජුන් මහේන්ද්‍රන් ඊයේ (11) කරන ලද සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.