fbpx
තවත්
    මුල් පිටුවspecial225 ක් ඕනෙ ඇයි?

    225 ක් ඕනෙ ඇයි?

    225 ම එපා කියන එක මේ කාලේ ප්‍රසිද්ධ සටන් පාඨයක්. ඒ අතරම “බලය පාර්ලිමේන්තුවෙන් එළියට” කියලා පෙරටුගාමී එකෙන් කියනවා. දේශපාලකයන් වෙනුවට ජනතාව විසින් රට පාලනය කළ යුතුයි කියලත් කියනවා.

    පෙරටුගාමී එකේ මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. එයාලා අවංක, කැපවීමෙන් වැඩ කරන, යහපත් මිනිස්සු. නමුත් මේ 225ම එපා, ජනතාව විසින් රට පාලනය කළ යුතුයි කියන එක කවදාවත් කරන්න බැරි අප්‍රායෝගික දෙයක් පමණක් නෙවෙයි ඉතාම විනාශකාරී අන්තයකින් කෙළවර වෙන්න පුළුවන් භයානක අදහසක්.

    මේ ගැන දේශපාලන විද්‍යාවේ විශාල විස්තර කිරීමක් තියෙනවා. නමුත් ඒවා අවශ්‍ය නෑ. ජනතාවට රට පාලනය කරන්න බෑ කියන එක හරිම සරලයි. පළමුවෙන්ම, ඒක කොහොමවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කෝටි දෙකක් විතර මිනිස්සු එකතැනකට ගෙනල්ලා සාකච්ඡා කරලා තීරණ ගන්න බෑ. ඒ වෙනුවට භූගෝලීයව කුඩා කොටස්වලට කඩල ඒවායේ මහජන සභා වගේ සෝවියට් පන්නයේ සභාවක් දාගෙන ඒ ප්‍රදේශයට බලපාන දේවල් තීරණය කළා වුනත්, එයින් ඔබ්බට යන ජාතික මට්ටමේ කාරණා සම්බන්ධයෙන් තීරණයක් ගන්න වුවමනා වුනොත් එතනින් නියෝජිතයෙක් තෝරලා යවන්න වෙනවා. මෙන්න මේ කාරණය තමයි නියෝජන ක්‍රමයක් අවශ්‍ය වෙන පළමු හේතුව. 225 කියන්නෙත් එහෙම එකක් තමයි.

    ඔය නියෝජිතයා එක එක විදිහට පත් වෙන්න පුළුවන්. රාජාණ්ඩු ක්‍රමයක නම් තාත්තාගෙන් පුතාට ක්‍රමයට. හමුදා ආණ්ඩුවක නම් නිලතල බෙදිලා තියන විදිහට. වෙනත් ඒකාධිකාරී පක්ෂ ක්‍රමයක නම් උඩින් තෝරන ක්‍රමයට. නමුත් දාහත් වෙනි සියවසෙන් පස්සේ එංගලන්තය මුල්කරගෙන වර්ධනය වුන නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියට අනුව නියෝජිතයන් තෝරා පත් වෙන්න ඕනේ ජනතාවගේ කැමැත්තෙන්. ඒකට තමයි ඡන්දය තියන්නේ. මේ ක්‍රමයේ ඕනෑ තරම් අඩුපාඩුකම් තියෙනවා. නමුත් චර්චිල් කිව්ව විදියට ඉතිහාසයේ මෙච්චර කල් තිබුණු ක්‍රම හැම එකකට වඩා නම් මේක තමයි හොඳම. චර්චිල් මේක කිව්වෙ අනෙක් පැත්තට හරවලා. (“Democracy is the worst form of Government except for all those other forms that have been tried from time to time”).

    ඒ විදිහට පත් වෙලා ගිය අය තමයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ අතුරින් ගොඩක් අය නරකයි දූෂිතයි කියන එක ගැන අහන්න දෙයක් නෑ. මේක මෙහෙම වෙලා තියෙන්නෙ මොකද කියන එක ගැන ඕනෑ තරම් විග්‍රහ කරන්න පුළුවන්. ඒකට ලංකාවේ ආණ්ඩුක්‍රමය තුළ තිබෙන ව්‍යුහාත්මක ගැටලු වගේම අපි “දේශපාලන සංස්කෘතිය” කියලා හඳුනාගන්නා එකේ ප්‍රශ්නත් තියෙනවා. හැබැයි අපි හැමෝම පිළිගන්න ඕනේ මොනවා හරි ක්‍රමයකට පත්කරන නියෝජිතයින් හරහා මිසක් ප්‍රායෝගිකව ආණ්ඩුකරණය කරන්න බැහැයි කියන එක.

    හැබැයි සෘජු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ යුතු වන්නේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ඒ විදිහට ප්‍රායෝගිකව බැරි නිසා විතරක්ම නෙමෙයි. ඇත්තටම අපි ඔය ජනතාව බුද්ධිමත් කියලා කියල කිව්වට ඒක එහෙමම නැහැ. සොක්‍රටීස්ට මරණ දණ්ඩනය දුන්නේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතාව. ඒ නිසාම ඔහුගේ ශිෂ්‍ය ප්ලේටෝට ඒ ප්‍රජාතන්ත්‍රවාදය තිත්ත වුණා. සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකදී මිනිස්සු ශූර කථිකයන්ගේ ආවේගාත්මක කතාවලින් මෝහනයට පත් වෙනවා. අතිසංවේදී වෙලා උද්වේගකර වෙලා මෝඩ තීරණ ක්ෂණිකව ගන්නවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ දී කරන්නේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන මහජනයාගේ මේ ගතිය අඩු කරන ක්‍රමවේදයක් සැකසීමයි. ‍එතනදී ක්‍රමවේදයකට අනුකූලව තීරණ ගැනීමට වෘත්තීය පලපුරුද්දක් තියෙන වෙනම කණ්ඩායමක් ඉන්නවා. දේශපාලකයන් කියන්නේ එයාලට. ලෝකයේ මෙතෙක් ලද අත්දැකීම් නිසා පාර්ලිමේන්තු ක්‍රියාවලිය සකස් කරලා තියෙන්නේ එබඳු අගතීන් සහ දුර්වලතා හැකිතාක් දුරට අඩු වෙන විදියේ තීරණ ගැනීමේ ආකෘතියක් ඇතුව. කලින් කිව්වා වගේ ඒකෙ ප්‍රශ්න තියෙනවා තමයි. නමුත් දැනට තියන තීරණ ගැනීමේ හොදම ආකෘතිය ඒකයි.

    ඒ නිසා අපි කොච්චර කිව්වත් පාර්ලිමේන්තුවක් මගින් රටක් පාලනය වෙන එක තමයි හොඳම. ඒ කියන්නේ 225ම එපා නෙමෙයි හොඳ 225 ක් ඕනෑ කියන එකයි හරි. 225 ම නැති පාලනයක් කියන්නේ එක්කෝ ඒකාධිපති, නැතිනම් තනි පක්ෂ එහෙමත් නැතිනම් හමුදා පාලනයක්. මේ 225 ත් එක්ක තියෙන තරහට එහෙම එකක් වුනත් හොඳයි කියලා හිතුනට, අපි එහෙම ඒ කියන්නේ අපි කවදාවත් එහෙම පාලනයක් යටතේ ඉඳලා නැති නිසා. එහෙම එකක් ආපු දවසට අපිට චර්චිල් කියපු දේ මතක් වෙයි.

    අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.