fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'තම්බපවනී' බලන්න ගිය ජනපති තීරණයක් ගනී

    ‘තම්බපවනී’ බලන්න ගිය ජනපති තීරණයක් ගනී

    ඉන්ධන අර්බුදය හමුවේ විදුලි අර්බුදයකට රට මුහුණ දී සිටින වකවානුවක, තම්බපවනී සුළං විදුලි බලාගාරය මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති තවත් මෙගාවොට් 50ක් ලබාගැනීම පිළිබඳ ප්‍රගතිය විමසා බැලීම සඳහා, ලංකා විදුලිබල මණ්ඩලය සතු මන්නාරම “තම්බපවනී” සුළං විදුලි බලාගාරය අද (02) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

    ජනාධිපතිවරයා නව සුළං විදුලි බලාගාර ඉදිකළ හැකි ස්ථාන පිළිබඳ වාර්තාවක් කඩිනමින් සකස් කරන ලෙස එහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

    විදුලියෙන් රට බලගැන්වීම, ස්ථාවර විදුලි බල සැපයුමක් සහ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් 2014 වසරේ දී “තම්බපවනී” සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් සැලසුම් කෙරිණ.

    ප්‍රධාන මෝසම් සුළං ප්‍රවාහ දෙකටම මුහුණ දෙන මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ දිගින් කිලෝමීටර් 13ක් සහ හෙක්ටයාර 150 ක භූමි භාගයක් ඒ සඳහා තෝරා ගනු ලැබීය.

    උසින් මීටර් 90ක් වන ටර්බයින සහිත කුලුනු තිහක් බලාගාරය සතු වේ.

    බමන තල (සුළං පෙති) කරකැවීමේ විශ්කම්භය මීටර් එකසිය විසි හයක් වන අතර කුලුනකින් මෙගාවොට් 3.45 ක විදුලිය උත්පාදනයක් සිදු වේ.

    නඩුකුඩා ග්‍රිඩ් උප පොළ හා මන්නාරම පුදුකාමන් දක්වා කි.මි 36ක් දිවෙන සම්ප්‍රේෂණ පද්ධතියක් ව්‍යාපෘතියට අයත්ය.

    සමස්ත විදුලි ධාරිතාවය මෙගාවොට් 103.5 කි.

    මෙමගින් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රුපියල් 08කට වඩා අඩු බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    ප්‍රශස්ත විදුලි සැපයුමක් වෙනුවෙන් විශේෂ තාක්ෂණික ක්‍රම රැසක් සහිත පරිසර හිතකාමී, මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මෙය පුනර්ජනනීය විදුලි උත්පාදනයක් කරා යන ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

    මේ වන විට සුළං විදුලි බලාගාර මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන මෙගා වොට් සංඛ්‍යාව 248කි.

    කෙටිකාලයක් තුළ එය ප්‍රවර්ධනයට ඇති හැකියාව සොයා බැලීම චාරිකාවේ අපේක්ෂාව වූ අතර බලාගාරයේ සියලු මෙහෙයුම් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

    2030 වසර වන විට මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම රජයේ අරමුණයි.

    පරිසර හානියකින් තොරව අඩු වියදම් විදුලි උත්පාදනය ප්‍රවර්ධනය මගින් අනාගතයේ දී පාරිභෝගිකයාට ගෙවීමට වන විදුලි බිල අඩු කිරීම ද එමගින් අපේක්ෂා කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.