fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුරෝපා සංගම් නියෝජිතයෝ ජනපති‍ගේ නිවසට යති

    යුරෝපා සංගම් නියෝජිතයෝ ජනපති‍ගේ නිවසට යති

    GSP+ සහනය ලබාදීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ නියෝජිත පිරිස මෙරට තුළ සිදුකළ සංචාරයේ දී අධ්‍යයනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට ඉඩ ප්‍රස්තාව හිමිවන බවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සහාය ලබාදෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුුවේ සඳහන් කර තිබේ.

    ඒ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ අද (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ය.

    යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමග එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම මෙම සංචාරයෙන් දූත කණ්ඩායම අපේක්ෂා කරයි.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයන් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දී ඇත.

    මෙහිදී එම නියෝජිතයන් වෙත කරුණු දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවය.

    අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිවරයාටත් උපදෙස් ලබා දී ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය. එලෙසම වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බව ද හෙතෙම දූත පිරිසට දැන්විය.

    කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ එමගින් රජය අපේක්ෂිත සම්පූර්ණ සැලසුම් ඉටු කර ගැනීමට එල්ල වූ බාධාවන් ද ජනාධිපති ගෝඨාභය රජජපක්ෂ පෙන්වා දුන්නේය. එසේ තිබිය දීත් දීර්ඝ කාලීන යුද්ධය නිසා ඇති වූ ගැටලු රැසකට විසඳුම් ලබාදීමටත් උතුරු – නැගෙනහිර පළාත් සංවර්ධනයට සේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා පැහැදිළි කළේය. විශේෂයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට සහ අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීමට පියවර ගත් බව පෙන්වා දෙනු ලැබීය.

    රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස් පෝරාවේ සිටින පිරිස සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දී ද තමා සඳහන් කළ බව ද ජනාධිපතිවරයා පැවසීය.

    සිවිල් සංවිධාන සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක්‍රියාකරන අතර ඒවායේ සහාය රටේ සංහිඳියාවට සහ දියුණුවට ලබාගන්නා බවත් පසුගිය දෙවසර තුළ පැවති උද්ඝෝෂණවලට කිසිඳු අවස්ථාවක බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල නොකිරීමට උපදෙස් ලබාදුන් බවත් උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන්කළ බවත් පෙන්වා දෙනු ලැබිණ.

    රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ද ඒවාට අවධානය යොමු නොවන අතර කුඩා සිදුවීමක් පාදක කරගනිමින් විවිධ පාර්ශ්ව සාවද්‍ය මතවාද ඇතිකිරීම කණගාටුදායක බව ද ජනාධිපතිවරයා දූත පිරිස සමඟ පැවසීය.

    රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීමටත්‌ පෞද්ගලික අංශය චැඩිදියුණු කර රටේ සංවර්ධනයට දායක කරගැනීමටත්‌ ගුණාත්මක රාජ්‍ය සේවයක්‌ සඳහා දියුණු රටවල තාක්ෂණ ක්‍රමෝපායන්‌ අනුගත කිරීමටත්‌ පියවර ගනිමින්‌ සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දුනි.

    මෙරට ප්‍රධානතම ජීවනෝපාය කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන්‌ තාක්ෂණ සහ පුහුණු සහාය ලබාගැනීමෙන්‌ රටේ ආර්ථික දියුණුව ළඟා කරගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා විසින්‌ පැහැදිළි කර දෙනු ලැබිණ.

    රට ඉදිරියට ගෙන යන රජයේ සැලැස්මි පිළිබඳ කළ දිර්ඝ පැහැදිළි කිරීම පිළිබඳව දුත පිරිස ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය සහ ස්තූතිය පළ කළහ.

    යුරෝපා කොම්සමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, වෙළෙඳ භා තිරසර සංවර්ධන, GSp සහ Environment Action Progrramme හි වෙළඳ කටයුතු සඳහා වූ අධ්‍යක්ෂ ජනරාල්‌ නිකොලොස්‌ සයිම්ස්, යුරෝපා කොමිසමේ බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියාවේ අංශ ප්‍රධානි, අඕනිස්‌ ජියෝග්කරාකිස්‌ ආර්ජිරොපොච්ලොස්‌, කොළඹ පිහිටි යුරෝපා සංගම්‌ නියෝජිත කණ්ඩායමේ තානාපති, ඩෙනිස්‌ චායිබි, ජීඑස්පී වෙළඳ සහනය පිළිබඳ සම්බන්ධිකාරක ගයිඩේ ඩොලාරා, රැකියා, සමාජ, කම්කරු, සංචලන – ජාත්‍යන්තර ගැටලු පිළිබඳ ඒකක ප්‍රධානි, අධ්‍යක්ෂ ජෙනරාල්‌ ලුයි ප්රැට්ස්, ශ්‍රි ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රතිපත්ති නිලධාරි, මොනිකා බසිලේයිටී, විදේශ ලේකම්‌, අද්මිරාල්‌ මභාචාර්ය ජයනාත්‌ කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.