fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් එන්නත් මිලදී ගැනීමේදී කිසිදු කොන්දේසියකින් තොරව මුදල් වෙන්කරනවා - මුදල් ඇමති

    කොවිඩ් එන්නත් මිලදී ගැනීමේදී කිසිදු කොන්දේසියකින් තොරව මුදල් වෙන්කරනවා – මුදල් ඇමති

    තාක්ෂණය ආශ්‍රිත රැකියා මගින් මේ වන විටත් බිලියන 1.2 ක පමණ ආදායමක් මෙරටට ලැබෙන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සදහන් කරයි.

    විදේශ රටවල් පවා මෙරට තාක්ෂණවේදීන්ගේ සහාය ලබා ගන්නා ප්‍රවණතාවයක් මේ වන විට ඇතිව තිබෙන බැවින් එවැනි ආදායම් මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අරලියගහ මන්දිරයේදී මහජන නියෝජිතයන්, ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරු සමග ඊයේ පැවැති විශේෂ හමුවකදී ඇමතිවරයා ඒ බව පැවැසීය.

    ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කර තිබේ. එය එය මෙසේය.

    වසංගතය හමුවේ රට යම් අසීරුතාවකට පත්ව තිබෙන මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මූලිකත්වය දෙමින් එන්නත් මිල දී ගැනීම සඳහා කිසිදු කොන්දේසියකින් තොරව මුදල් වෙන් කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

    එසේම එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සලසමින් රට පූර්ණ වශයෙන් විවෘත කිරීමට රජයේ ප්‍රමුඛතාවය දී ඇති හෙයින් කඩිනමින් රටේ ආර්ථික අංශ ක්‍රියාවට නැංවිය හැකි බවට ද අමාත්‍යවරයා මෙහිදි විශ්වාසය පළ කළේය.

    හරිත ශ්‍රී ලංකාවක් වැඩපිළිවෙළ යටතේ රටේ අනාගත පරපුරට බලපාන ප්‍රධාන කරුණු විසි හතක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතර එම යෝජනා සාර්ථක කර ගැනීම සඳහා සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද රාජපක්ෂ මහතා මෙහි දි සඳහන් කළේය.

    ඉදිරි ආර්ථික වැඩපිළි‍වෙළ සහ එය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා ඒ අනුව ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා වූ යෝජනාවලට මූලිකත්වය දෙන ඉදිරි මාස 6ක කාලය තුළ වඩාත් අවධානයෙන් සහ පසු විපරමින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාව මෙහි දී පෙන්වා දුන්නේය.

    ආයෝජකයින් අපහසුතාවයට පත්වන අවස්ථා විධිමත්ව හඳුනාගෙන එවැනි අවස්ථා අවම කරමින් ආයෝජකයින් දිරිමත් කිරීමේ ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියේය.

    තමා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව අර්ථ සාධක අරමුදලෙන් 14% ක බද්දක් අය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ද මෙහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ජනතාවගේ අවශ්‍යතාවලට මුල්තැන දෙමින්, අනවශ්‍යය වියදම්, නාස්තිය දූෂණය අවම කරමින් මනා මහජන සේවයක් සැපයීම සඳහා මේ අවස්ථාවේ සියලුම මහජන නියෝජිතයන්ගේ ආණ්ඩුකාරවරුන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේත් සහාය බලාපොරොත්තු වන බව ද මුදල් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.