fbpx
තවත්

    සෞදියේ රඳවාගෙන සිටින ලාංකික ගෘහසේවිකාවන් වහා ගෙන්වීමට පියවර

    0
    Airport

    විවිධ හේතූන් මත අත්අඩංගුවට ගෙන සෞදි අරාබියේ රියාද්හි කඳවුරක රඳවාගෙන සිටින බව කියන ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 41 දෙනා හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

    මේ පිළිබඳ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනකු සිංහල අලුත් අවුරුදු දිනයේ එම රැදවුම් කදවුරේ ප්‍රධාන නිලධාරියා හමුවී සාකච්ඡා කර තිබේ.

    ඊට සෞදි බලධාරීන් කැමැත්ත පළ කර ඇතැයිද වාර්තා වේ.

    ඒ අනුව මුල් අදියර ලෙස ඔවුන්ගෙන් කිහිපදෙනකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ගුවන් ටිකට් පත් වෙන් කරවා මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

    ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියේ රියාද්හි අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පසුගිය දා වාර්තාවක් නිකුත් කර තිබුණි.

    එරට ක්‍රියාත්මක ගෘහසේවක අනුග්‍රාහක ක්‍රමවේදයේ ඇති පීඩාකාරී බව නිසාම මේ වන විට සෞදි අරාබි රජය විසින් මෙම ක්‍රමය ක්‍රමානුකූලව වෙනස් කරමින් සිටී.

    මෙලෙස රඳවාගෙන සිටින ගෘහ සේවිකාවන් 41 දෙනා ගෙන් 20 ක් සිය සේවා ස්ථාන වලින් පළා ගිය අයයි.

    තවත් 3 දෙනෙකු සිගමන් යැදීම නිසා අත්අඩංගුවට පත්විය.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසරකට ආසන්න කාලයක් සෞදි අරාබියේ ගුවන් සේවාවන් හි මෙහෙයුම් කටයුතු සිදු වූයේ නැත.

    ආනයනික ආහාර සහ විලවුන්වල විෂ ඇත්දැයි සොයයි

    0

    මෙරටට ආනයනය කරන ආහාරවල සහ විලවුන් ආදියෙහි හානිකර ද්‍රව්‍ය තිබේද යන්න පිළිබඳ වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (16) දැනුම් දී තිබේ.

    2017 සහ 2018 වසරවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙි පිළිබඳව අවධානය යොමු විය.

    ආහාර පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ය.

    එබැවින් ඒ සඳහා රසායනාගාර පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ආහාර සුරක්ෂිතතාවයට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී දැනුම් දී ඇත.

    ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින ගැටලුකාරී තත්ත්වය උග්‍රවී ඇති බව ගිණුම් කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පැවසූයේ ආනයනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය වල ශරීරයට ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව තහවුරු වී ඇති බවයි .

    රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී නිසි නියාමන ක්‍රමවේදයක් සැකසීම ඉතා වැදගත් බව කාරක සභාවේ මතය විය.

    ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

    ඇස්ට්‍රාසෙනෙකා සහ J&J එන්නත් තවදුරටත් නොගෙන ඉන්න යුරෝපයෙන් තීන්දුවක්

    0

    ලබන වසරේදී ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (J&J) සමඟ COVID-19 එන්නත් කොන්ත්‍රාත්තු අළුත් නොකර අවසන් කිරීමට යුරෝපා කොමිසම තීරණය කරයි.

    ඒ වෙනුවට ෆයිසර් සහ මෝඩර්නා වැනි එන්නත් භාවිත සඳහා ගිවිසුම් ගත වීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

    ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඉතාලි දිනපතා පුවත්පතක් වන ලා ස්ටැම්පා මේ බව වාර්තා කළේය.

    “යුරෝපා කොමිසම මෙම වර්ෂය සඳහා වලංගු වන එන්නත් නිපදවන සමාගම් සමඟ ඇති ගිවිසුම් කල් ඉකුත් වන විට අලුත් නොකිරීමට තීරණය කර බොහෝ (යුරෝපා සංගම් රටවල) නායකයින් සමඟ එකඟතාවයකට පැමිණ තිබේ.” යනුවෙන් එහි වාර්තා කර ඇත.

    ෆයිසර් සහ මෝඩර්නා වැනි මැසෙන්ජර් ආර්එන්ඒ (MRNA) තාක්‍ෂණය භාවිතා කරමින් බ්‍රසල්ස් COVID-19 එන්නත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.

    යුරෝපා කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ 2022 සහ ඉන් ඔබ්බට වසංගතයේ මීළඟ අදියර සඳහා සූදානම් වීමට සියලු විකල්ප විවෘත කරන බවයි.

    යුරෝපා කොමිසමේ සභාපති, යුරෝපා සංගමය ෆයිසර් සහ බයෝටෙක් සමඟ මාත්‍රා බිලියන 1.8 ක නව කොන්ත්‍රාත්තුවක් සඳහා සාකච්ඡා කරමින් සිටින බව පසුගිය සතියේ රොයිටර් වාර්තාවක් සනාථ කළේය.

    “ඒවායේ තාක්ෂණයන් කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. එහිදී එම්ආර්එන්ඒ එන්නත් ඉතා පැහැදිලි අවස්ථාවක්.”

    COVID-19 එන්නත යුරෝපා කොමිසමට ලබා දීම ප්‍රමාද කිරීම පිළිබඳව “සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත” නිවේදනයක් නිකුත් කිරීම පිළිබඳව යුරෝපා කොමිසම J&J එන්නත් සමාගම වෙතින් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බව යුරෝපා සංගම් නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

    යුරෝපා කොමිසම, සාමාජික රටවල් 27කින් සමන්විත ය.

    ප්‍රශ්නය වන්නේ ජනපති ගෝඨාභය මන්ත්‍රී විජයදාසට දෙකක් නොකීවානම්ය

    0

    සමස්ත රට වැසියන් අලුත් අවුරුද්ද සුබ සිතිවිලිවලින් පටන් ගත්තා පමණි. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මුළු රට ඉදිරියේ දේශපාලන බෝම්බයක් අතහැරියේය. කලින් කලට දේශපාලන බෝම්බ අත්හරින විජයදාසට මෙය අරුමයක් නොවුනද මේ සිදුවීමේ හතර කොණ සොයන්නන්ට එය අන්තෝජටා බහිජටා වී ඇත්තේය.

    කොළඹ වරාය නගරය හා බැඳී පවතින පනත් කිහිපයක් පිළිබඳව ආණ්ඩුව විවේචනය කරන්නට මෙන් විජයදාස පටන්ගත් මාධ්‍ය හමුව නිමාවට පත්වූයේ ජනපති ගෝඨාභය, ජනපති කාර්ය සාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ ඇතුළු තමන්ගේ කලක් කුළුපඟ මිතුරු ලැයිස්තුවට අවලාද නගමිනි.

    මෙම කතාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී මූලිකවම දෙදෙනෙකු පිළිබඳව සිහියට නැගෙයි. පළමුවැන්නා නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය. දෙවැන්නා මන්ත්‍රී විජයදාස රාජපක්ෂය. විජයදාසට කලින් වීදුරු ගෙයි සිට ආණ්ඩුවට ගල් ගසනු ලැබුවේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය.

    රටට නිවැරදි දේ දීමට මහා සංඝරත්නය පෙරට ආ යුතු බව සමස්ත රට වැසියන් කාලයක සිට අදහන්නේ වුවද මුරුත්තෙට්ටුවේ හිමිගේ අභිප්‍රාය වූයේ හෙද සංගමය ඔස්සේ පැමිණ රටේ බලවතුම සංඝ පීතෘන්වහන්සේ වීමේ සිහිනය සැබෑ කර ගැනීමය.

    පන්සල දේශපාලන කේන්ද්‍රස්ථානයක් කිරීම ගැන බෞද්ධයන්ට විවිධ මතවාද තිබෙන්නට පුළුවන. එහෙත් මැදහත් බෞද්ධයන් නම් පන්සල හෝ සංඝයාවහන්සේලා දේශපාලන අතකොලු වීම අගයන්නේ නැත. දේශපාලනය හැසිරවීම නොව ඔවුන් රට සහ ජනතාව වෙනුවෙන් පෙරට ආ යුතුය. එසේ රට පෙරමුණ තබා කටයුතු කරන්නේ නම් රෙජීම් මාරුකිරීමට මැදිහත්වී ඉන් උදව් පතන්නට උවමනාවක් නැත.

    මුරුත්තෙට්ටුවේ හිමි කල්පනා කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන් ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා ද අභයාරාම දායකයෙකු කිරීමයි. ඊට හේතු කිහිපයක් ඇත. මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ දායක සභාවේ ඉල්ලීම් එක දුරකථන ඇමතුමෙන් සිදුවිය යුතුය. මහින්ද ඒ වැඩේ කළ ද ගෝඨාභය ඒ වැඩේට කැමති වූයේ නැත. ඒ නිසා මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුව විවේචනයට පටන් ගත්තේ ඉතාම කෙටි කලෙකින් පිරිහුණු ආණ්ඩුව මෙය බව කියමිනි.

    කිරි කලයට ගොම බිදුවක් දැමුවත් ඇතිය. ඒ බව දන්නෝ දනිති. ඒ නිසා එසේ දේශනා කරන ගමන්ම උන්වහන්සේ මහින්දගේ හොඳ කීවේය. එමගින් ආණ්ඩුව මුළුමනින්ම මහින්දට හැරී සිය ගජ මිතුරු සමාජයට සළකන්නට ලැබෙනු ඇතැයි මුරුත්තෙට්ටුවේ හිමි සිතන්නට ඇත. ඊට අවශ්‍ය එක් එක් තුරුම්පු කාලෙන් කාලෙට අභයාරාමයෙන් මතුවිය. ඇතැම්විට ඒ තුරුම්පු තනිකරම බයි සමාජයම නොවු අතර ඇතමෙක් ටොයියන් වූහ. මේ ගැන වරක් අරලියගහ මන්දිරයට පැමිණි පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පැමිණිලි කර තිබුණෝය.

    විජයදාස රාජපක්ෂට අවශ්‍ය වූයේ තමන් මුලාවක වැටුණු බවට වූ ලජ්ජාවෙන් ගොඩඒමේ මාර්ගයක් සොයා ගැනීමයි. බැසිල් හැදූ අගමැති මහින්දගේ නායකත්වයෙන් යුතු පොහොට්ටුවෙන්ම පාර්ලිමේන්තුවට පැමිණි විජයදාස තමන්ට කැබිනට් ඇමතිකමක් ලැබෙනු ඇතැයි මුලින් කල්පනා කළේය.

    විජයදාස එසේ නොහිතන්නට ද හේතුවක් නැත. ඒ වෙන කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩුවේ සිට මේ ආකාරයටම හම්බන්තොට වරාය චීනයට බදු දීමේ කැබිනට් තීන්දුව විවේචනය කිරීම සහ අධිකරණ අමාත්‍යධූරය හොබවනතුරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බවට කළ ප්‍රසිද්ධ ප්‍රකාශ මත එකල කැබිනට් ඇමතිකම් ගැලවුණු නිසාය.

    මෙකල ඇමතිකම් පැතුව ද ජනපති ගෝඨාභය මන්ත්‍රී විජයදාසට ඇමතිකමක් නොදුන්නේය. බැසිල්ගේ ලැයිස්තුවට සියල්ල සිදුවන බවට ඉඟි කළ විජයදාස ගෝඨාභය ජනපතිගෙන් එහි වාඩුව ගන්නට පෙරට ආවේ මුරුත්තෙට්ටුවේ හිමිගේ පෙරැත්ත මතය. හැමෝම ආණ්ඩුවට බැනීමේ බෙරය වයනවිට නලා පිඹින්නන්ට ද කසකරුවන්ට ද වැඩ වලින් අඩුවක් නැත.

    ඒ බව දන්නා විජයදාස මෙවරත් බෙරය ගසා බැලුවේය. යහපාලන ආණ්ඩුවට පඹයා ආදර්ශ කළ විට විජයදාසට ලැබුණු තරවටුව ඇමතිකම ගිලිහීමය. මෙවර විජයදාස එකවර කාරණා දෙකක් ජනගත කරන්නට බැලුවේය. එකක් මිස්ට ටුවෙන්ටි ප්‍රසන්ට් කතාවය. එමගින් බැසිල් රාජපක්ෂට පහර ගැසූ විජයදාස දෙවනුව හැරුණේ ගෝඨාභය රාජපක්ෂ ජනපති දෙසටය. නිතර පඹයාගෙන් උදාහරණ ගැනීම විජයදාසගේ සිරිතකි. යහපාලන ආණ්ඩුවේ සිටින කාලයේ විජයදාස මාධ්‍යට කීවේ මේ ආණ්ඩුවේ මම පඹයෙක් වෙන්නෙ නැහැ කියලාය.

    ඒ තරමට විජයදාසට පඹයා සමීප වූයේ කෙසේ ද යන්න වෙනම කතාවකි. නමුත් ජනපති ගෝඨාභයට පඹයා යැයි කීමට විජයදාස ඉස්සරවූවා වැඩියැයි හැඟේ. ගෝඨාභය ෆේල් කතාව මෙන්ම මේ කතාවේ කුප්‍රකට අරමුණ ජනපති ගෝඨාභය දේශපාලනයෙන් ඈත් කිරීමය. දේශපාලනය නොදන්නා අයෙකු ලෙස ජනපති ගෝඨාභය තවදුරටත් හංවඩු ගැසීමට විජයදාස දෙවරක් නොසිතන්නේ ඒ නිසාය. පඹයන් සිටින කුඹුරේ පියාඹන කොක්කුන්ගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටය. ඒ නිසා රට කරවන්නට විජයදාස ලොජික්ම උවමනා වන්නේ නැත. ඔහුගේ වාසියට කී කතා හැර රට පැත්තෙන් විජයදාස කී කතාවක් වේ නම් එය රැගෙන ඉදිරි ගමන යා හැකිය.

    ජනතාව මේ රට හදන්නට හැකි නායකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනපති ගැන තැබූ විශ්වාසය එක් රැයකින් අවසන් නොවේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනපති කුමන අවස්ථාවක හෝ එදා ජනතාව දුටු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලෙස ක්‍රියා කරනු ඇතැයි ද වෙනම ගමනක් යනු ඇතැයි ද සියලු ජනතාව විශ්වාස කරති. ඒ නිසා ප්‍රශ්නය වන්නේ ජනපති ගෝඨාභය මන්ත්‍රී විජයදාසට දෙකක් නොකීවානම්ය.

    තහනම් අන්තවාදී සංවිධාන තවමත් සෝෂල් මීඩියා ඇතුළේ වැඩ

    0

    මෙරට තහනම් කල අන්තවාදී ඉස්ලාම් සංවිධානවල දේශන සහ මතවාද ජාල මාධ්‍යවල තවදුරටත් ක්‍රියාත්මක වෙමින් ඇතැයි බුද්ධි අංශ නිරීක්ෂණය කර තිබේ.

    අදාල සමාජ මාධ්‍ය ආයතනවලට එම සංවිධාන ගැන දැනුවත්කරමින් එම දේශන සහ මතවාදී අදහස් දැක්වීම් ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසද බුද්ධ අංශ මේ වන විටත් බලධාරීන් දැනුවත්කර ඇත.

    තහනම් කරන ලද එම ඉස්ලාම් අන්තවාදී සංවිධාන සතු වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

    තහනම් කරල ලද අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 නායකයින් ගෙන් වත්කම් සම්බන්ධ තොරතුරු ලබා ගනිමින් සිටින බවද ඇමතිවරයා සදහන් කරයි. තහනම්කර තිබියදීත් මෙම සංවිධාන අන්තවාදය සහ ත්‍රස්තවාදය පතුරුවමින් කටයුත කළහොත් අනිවාර්යයෙන්ම ඒ අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගගන්නා බවද සරත් වීරසේකර ඇමතිවරයා අවධාරණය කළේය.

    වතුර මීටර් සොරකමකට දැරණියගල සභාපති අත්අඩංගුවට

    0

    දැරණියගල කුඹුරුගම ප්‍රදේශයේ කෙරෙන විශේෂ ජල ව්‍යාපෘතියකට රැගෙනවිත් තිබුණු ජල මාපක තොගයක් සොරා ගැනීමක් සම්බනධයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව පොලීසිය ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ජල මාපක ඇතුළු ජල ව්‍යාපෘතියට රැගෙනවිත් තිබූ භාණ්ඩ ගබඩාකර තිබූ ගබඩාව බිද මෙම සොරකම සිදුකර ඇත්තේ ඉකුත් 30 වෙනිදාය. එහිදී ජල මාපක 477ක් ඇතුළු තවත් උපකරණ තොගයක් සොරාගෙන ගොස් තිබුණි.

    ඒ සම්බන්ධයෙන් ජල ව්‍යාපෘතියභාර ඉංජිනේරුවරයා විසින් දැරණියගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇත. ඊට අනුව විමර්ශන ආරම්භකළ පොලීසිය තිදෙනෙක් සැකපිට මුලින්ම අත්අඩංගුවට ගත්තේය. ඒ අය අතර ගබඩාවේ ලිපිකරු සහ රියදුරෛක්ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    මෙම සැකකරුවන්ගෙන් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්නකරමින් කළ විමර්ශනයෙන් අනතුරුව දැරණියගල ප්‍රාදේශීයය සභාවේ සභාපතිවරයාව පොලීසිය ඊයේ අත්අඩංගුවට ගන්නේ සොරාගැනීමට ලක්වූ ජල මාපක 98 ක්ද සමගිනි.

    සැකකාර ප්‍රාදේශීය සභාවේ සසභාපතිවරයා පොදු දේපොල පනතින් අද (17) අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත්කරන බව අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    අද අවසන් ගමන යන පිලිප් කුමරු මිලට ගත් පළමු මෝටර් රථය කොළඹ කෞතුකාගාරයක

    0

    බ්‍රිතාන්‍ය රජපවුලේ අද(17) දින අවමංගල්‍යය යෙදී ඇති එඩින්බරෝ ආදිපාද, අභාවප්‍රාප්ත පිලිප් කුමරු මිලදී ගත් පළමු මෝටර් රථය දැන් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ හෝටල් කෞතුකාගාරයක තැන්පත් කර තිබේ.

    අයත් අවුරුදු 90 ක් පමණ පැරණි Standerd Nine මෝටර් රථය පිලිප් කුමරු මෙරට දී මිලට ගෙන ඇත්තේ ඔහුට අවුරුදු 19ක් පමණ වයසක දී ය.

    ඒ 1940 දී බ්‍රිතාන්‍ය නාවික හමුදාව සමඟ කොළඹ- නුවර කටයුතු කළ සමයේ දීය.

    1935 නිෂ්පාදිත ස්ටෑන්ඩර්ඩ් නයින් මෝටර් රථය එකල පිලිප් කුමරු මිලදී ගෙන තිබුණේ පවුම් 12 කට ය. පිලිප් කුමරු මෝටර් රථ ලෝලියෙකු ලෙස ද ප්‍රකට ය.

    තහනම් රක්ෂණ පිරිවැය සහ සංරක්ෂණයට තැබීම නිසා මිස අදටත් වසර 90ක් පමණ පැරණි මෙම මෝටර් රථය ක්‍රියාකරන බව ගාඩ්නර් කියයි.

    කොළඹ ගෝල්ෆේස් හෝටලයේ කෞතුකාගාරයේ මෙම මෝටර් රථය තබා ඇති අතර හෝටලයේ සභාපති සංජීව් ගාඩිනර් පැවසුවේ “ඔහු 1950 දශකයේ මුල් භාගයේදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණි විට ඔහු මෙම මෝටර් රථය බැලුවා. ඔහු මෝටර් රථය දුටු විට, ‘තිරිංග ක්‍රියා කරයි කියලා මම විශ්වාස කරනවා. ඒවා එවකට ක්‍රියාත්මක වුණේ නෑ.’ යනුවෙන් පවසා තිබේ.

    ගාඩිනර්ට අනුව, කුමරු තමා මිලදී ගත් පළමු මෝටර් රථය මෙය බව පිළිගත්තේය. ඔහු ස්ටෑන්ඩර්ඩ් මෝටර් රථ සමාජයේ අනුග්‍රාහකයෙකු බවට ද පත්විය.

    පැරණි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයක් ලෙස පැවති කාලයේ සිටම පැවත එන ගාඩිනර් මහතාගේ හෝටලය රිදී සහ කළු සෙඩාන් වටා කෞතුකාගාරයක් ඉදිකර ඇත. එය අමුත්තන්ගේ සහ සංචාරකයින්ගේ විනෝදය සඳහා සංරක්ෂණය කර තිබේ.

    පිලිප් කුමරු මෙම රථය මිලදී ගන්නා අවස්ථාවේදී, මාසයක් ඇතුළත සමාන වාරික දෙකක ගෙවීම් සැලැස්මක් ලබා ගැනීමට සමත් වූ බව පැවසේ.

    කෞතුකාගාර වාර්තාවලට අනුව ඔහු මුලින්ම මෝටර් රථය කොළඹ සිට කිලෝමීටර් 260 ක් (සැතපුම් 160 ක්) දුරින් පිහිටි ත්‍රිකුණාමලයේ නාවික කඳවුරකට ගෙන ගියේය.

    කිලෝමීටර් 93,040 (සැතපුම් 58,150) ක දුරක් ගොස් ඇති මෙම මෝටර් රථය කිහිප වතාවක් ප්‍රතිෂ්ඨාපනය කර ඇති අතර එය තවමත් ධාවනය කළ හැකි බව ගාඩිනර් ඒඑෆ්පී වෙත පැවසීය.

    නමුත් තහනම් රක්ෂණ පිරිවැය නිසා එය තවදුරටත් පිටතට නොගෙන සංරක්ෂණයට තබා ඇත.

    මෙම වාහනය ගාඩිනර්ගේ පියා සිරිල් ගාඩ්නර් විසින් 1950 දශකයේ මුල් භාගයේදී මිලදී ගන්නා ලදී.

    ගාර්ඩිනර් පැවසුවේ 1954 දී සිය පළමු නිල ශ්‍රී ලංකා සංචාරයේදී එලිසබෙත් රැජින සහ පිලිප් කුමරු විසින් භාවිතා කරන ලද කැඩිලැක් රාජකීයයන්ට තම පියා කුලියට දුන් බවයි.

    “රාජකීය පවුල විසින් භාවිතා කරන ලද තවත් දෙයක් සමඟ මේ වන විට එය යථා තත්වයට පත් වෙමින් පවතී,” ඔහු පැවසීය.

    පසුගිය සතියේ වයස අවුරුදු 100 සපිරීමට මාස දෙකක් තිබියදී මියගිය පිලිප් කුමරු මෝටර් රථවලට දැඩිව ආදරය කරන කෙනෙක් වන අතර බොහෝ විට තමාම පදවාගෙන යාමට තීරණය කරන්නෙකි.

    නමුත් 2019 දී ඔහුගේ මෝටර් රථය පෙරළී තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබීම නිසා වයස අවුරුදු 97 දී ඔහු සිය රියදුරු බලපත්‍රය භාර දුන්නේය.

    අද (17) පැවැත්වෙන එඩින්බරෝ ආදිපාදවරයාගේ අවමංගල පෙරහැර අතරතුර, ඔහු සැලසුම් කිරීමට උදව් කළ ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩරයක් ඔහුගේ මිනී පෙට්ටිය වින්ඩ්සර් කාසල් වෙත ගෙන යනු ඇත.

    ගෝල්ෆේස් හෝටල් කෞතුකාගාරයේ දී අද දැකගත හැකි මෙම පුවරුව එකල මෙම පුවත පළවූ ආකාරය සහ එවකට පිලිප් කුමරුගේ ඡායාරූප දැකගත හැකිය.
    සංජීව් ගාඩිනර් (දකුණේ) සහ ඔහුගේ පුත් ශේෂාන් කලක් පිලිප් කුමරුට අයත්ව තිබූ 1935 ස්ටෑන්ඩර්ඩ් නයින් මෝටර් රථය සමඟ අද.

    අද කොවිඩ් මරණ 7 ක්

    0

    කොවිඩ්‌- 19 ආසාදිත රෝගීන්ගේ මරණ 07 ක්‌ අද තහවුරු වී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවෙන්‌ වාර්තා වන මුළු කොවීඩ්‌ -19 ආසාදිත රෝගින්ගේ මරණ සංඛ්‍යාව 615 කි.

    1. පස්යාල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 අප්‍රේල්‌ 14 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ ආසාදනය, නිධන්ගත වකුගඩු රෝගය, දියවැඩියාව, හෘද රෝගය සහ ඇදුම රෝගයයි.
    2. රත්නපුර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. රත්නපුර ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 අප්‍රේල්‌ 15 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, උග්‍රශ්වසන අපහසුතාව, නිධන්ගත
      වකුගඩු ආබාධය සහ හෘද රෝගී තත්ත්වයයි.
    3. කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කඹුරුපිටිය මූලික රෝහලේ සිට කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර එම රෝහලේ දී 2021 අප්‍රේල්‌ 10 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, ලේ විෂවීමේ කම්පනය, දියවැඩියාව සහ නිධන්ගත වකුගඩු රෝගයයි.
    4. කලවාන ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. කලවාන මූලික රෝහලේ සිට
      කොවීඩ්‌ 19 ආසාදිකයෙකු ලෙස හඳුනාගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 අප්‍රේල්‌ 10 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, ඇදුම රෝගය, අයි රුයිර පීඩනය සහ පෙනහළු කරා රුධිර සැපයීම අඩාලවීමයි.
    5. තොන්ඩයිමනරු ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පේදුරුතුඩුව මූලික රෝහලේ සිට කොවිඩ්‌ ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 අප්‍රේල්‌ 11 දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව, ලේ විෂවීම, නිධන්ගත වකුගඩු රෝගය සහ දියවැඩියාවයි.
    6. තලංගම ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදූ පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 අප්‍රේල්‌ 16 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩි නියුමෝනියාව, උග්‍ර ශ්වසන අපහසුතාවය සහ හෘද රෝගී තත්ත්වයයි.
    7. චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකි. යාපනය ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව ජාතික බෝවන රෝග විද්‍යායනනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 202] අප්‍රේල්‌ 15 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමේ කම්පනය, කොවිඩ්‌ 19 ආසාදනය සහ නිධන්ගත ලියුකේමියා තත්ත්වයයි.

    අපනයන ආදායමෙන් කොටසක් රුපියල් කරන්නැයි මහබැංකු නියෝගයක්

    0

    අංජනා මල්ලවආරච්චි

    අපනයනය මගින් උපයන මුදලින් 10%ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතුයැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපනයනකරුවන්ට නියෝගයක් පනවා තිබේ.

    අපනයන සඳහා ලබන ආදායම අමරිකානු ඩොලර්වලින් ලැබෙන අතර ඒවා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අපනයනකරුවන්ට මාස 6ක කාලයක් නීතියෙන් හිමි වේ .

    එහෙත් රට තුළ දැනට පවතින ඩොලර් හිඟයට පිලියමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති අපනයනය මගින් ලබන මුදලින් සියයට 10 ක ප්‍රතිශතයක් දින 30ක් තුල ශ්‍රී ලංකා රුපියල් වෙත පරිවර්තනය කරන්නැයි අපනයනකරුවන්ට නියෝග කිරීම ය.

    පිලිප් කුමරුගේ අවමංගල්‍යයට එන 30 දෙනා මෙන්න

    0

    එංගලන්තයේ වින්ඩ්සර්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී හෙට (17 ) පැවැත්වෙන එඩින්බරෝ ආදිපාදවරයාගේ අවමංගල්‍යය කිසිසේත්ම මීට පෙර පැවති ආකාරයේ රාජකීය අවමංගල්‍යයක් මෙන් නොවනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    කොවිඩ්-19 වසංගතයට නතුවීමට මෙම රාජකීය අවමංගල්‍යයට පවා සිදුවීම ඊට හේතුවයි.

    අවමංගල්‍ය කටයුතු සඳහා වර්තමාන කෝවිඩ් -19 මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බව බකිංහැම් මාලිගය සනාථ කර තිබේ.

    එබැවින් දෙවැනි එළිසෙබෙත් රැජිණගේ සැමියාගේ අවමංගල්‍යය වුවද 30 දෙනෙකුට පමණක් සහභාගි විය හැකි මහජනයාට විවෘත නොවූ අවමංගල්‍යයක් වනු ඇත.

    ඉතා සීමිත පිරිසක් සහභාගි වන බැවින් මෙම අවමංගල්‍ය අවසන් කටයුතු සඳහා සහභාගීවන සමීපතම ඥාතීන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

    පිලිප් කුමරුගේ අවමංගල්‍යයට සහභාගි වීමට ඉඩලැබී ඇති අමුත්තන් 30 දෙනා පහත දැක්වේ.

    දෙවැනි එළිසෙබෙත් රැජින
    රාජකීය කුමරිය ඈන්
    වේල්සයේ කුමරු චාල්ස්
    වෙසෙක්ස්හි අර්ල් එඩ්වඩ් කුමරු
    යෝක් ආදිපාද ඇන්ඩෲ
    සසෙක්ස් ආදිපාද හැරී
    පීටර් ෆිලිප්ස්
    කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු
    වයිස් අද්මිරාල් ටිම් ලෝරන්ස්
    ස්නෝඩන්හි අර්ල් ඩේවිඩ්
    කෝන්වෝල් ආදිපාද කැමිලා
    වෙසෙක්ස් ආර්‍යාව සොෆී
    ලුයිස් වින්ඩ්සර් ආර්යාව
    ජේම්ස්, විස්කවුන්ට් සෙවර්න්
    කේම්බ්‍රිජ් ආදිපාද කේට් මිඩ්ල්ටන්
    සාරා ටින්ඩල්
    මයික් ටින්ඩල්
    බියෙට්‍රිස් කුමරිය
    එඩෝඩෝ මාපෙලි මොසි
    ඉයුජිනි කුමරිය
    ජැක් බෲක්ස්බෑන්ක්
    සාරා චැටෝ ආර්යාව
    ඩැනියෙල් චැටෝ මහතා
    ග්ලූස්ටර් ආදිපාද රිචර්ඩ්
    කෙන්ට් ආදිපාද එඩ්වඩ්
    ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය
    බේඩන් හි කුමරු බර්නාර්ඩ්
    හෙස් ආණ්ඩුකාර මොරිට්ස්
    හොහෙන්ලොහේ-ලැන්ගන්බර්ග් කුමරු
    බර්මාහි මවුන්ට්බැටන් ආර්‍යාව

    අවුරුදු දින දෙකේ රියදුරන් 2800කට නඩු – 30ක් මරුට

    0

    මෙරට රිය අනතුරු වැඩියෙන්ම සිදුවන අප්‍රේල් 14 සහ 15 යන දින දෙකතුළ මෙවරත් රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙක් මිය ගොස් තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කරනු ලැබුවේ ඊයේ (16) අලුයම 6.00 අවසන් වූ පැය 24ක කාලය තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බවය. අප්‍රේල් 14 වන දින රිය අනතුරුවලින් සිදුවූ මරණ ගණන 14 කි.

    ඒ අනුව අද (16) අලුයම 6.00 න් අවසන් වූ පැය 48 තුළ රිය අනතුරුවලින් ජීවිත 30ක් පමණ අහිමිව ඇති බවත් ඉන් 12 දෙනෙකුම යතුරුපැදිකරුවන් වන බවත් අජිත් රෝහන මහතා කීය.

    රිය අනතුරු පාලනය කිරීම සදහා ගෙවී ගිය දින කිහිපය තුළ පොලීසිය මහ මග නිරන්තරයෙන් රැදී සිටිමින් මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුමක්ද දියත් කළ බව අජිත් රෝහන මහතා පැවැසීය.
    ඒ අනුව අප්‍රේල් 14 සහ 15 යන දින දෙක තුළදීී පමණක් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 2844 දෙනෙක්ට එරෙහිව නඩු ලබාගගෙන ඇතැයිද අජිත් රෝහන මහතා සදහන් කළේය.

    එම කාලය තුළ බීමත් රියදුරන් 783 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අය අතර යතුරුපැදිකරුවන් 534 දෙනෙක්, මෝටර් රථ රියදුරන් 433 දෙනෙක්, ත්‍රි රෝද රථ රියදුරන් 180 දෙනෙක්, බස් රථ රියදුරන් 02 දෙනෙක්, ඩබල්කැබ් රියදුරන් 11 දෙනෙක්, ලොරි රථ රියදුරන් 10 දෙනෙක් සහ වෙනත් රථ රියදුරන් 03 දෙනෙක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    රුපියල ශක්තිමත්වේ

    0

    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පහල වැටෙමි තිබුණු ශ්‍රී ලංකා රුපියලේ අගය අද (16) ඉහළ ගියේය.

    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඊයේ (15) දින රුපියලේ අගය වාර්තා වූයේ රුපියල් 204.62 ක් ලෙසිණි. මෙරට ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ රුපියලේ අවම අගය වන්නේ එයයි.

    ශ්‍රී ලංකා මහා බැංකුව සදහන් කරන්නේ අද (16) රුපියලේ විකුණුම් මිල 201.28 ක් ලෙස සටහන් වූ බවය. ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 195.72 ක් ලෙසිණි.

    චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) මෙරටට ලබා දෙන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ණය මුදල මෙරටට ලැබීමත් සමග ශ්‍රී ලංකා රුපියල මෙලෙස අධිප්‍රමාණ වී තිබෙන බව ආර්ථික විිශේෂඥයන් සදහන් කරයි.

    දේශපාලන පක්ෂ 6ක් තාවකාලිකව අත්හිටුවයි

    0
    Election commission

    මෙරට දේශපාලන පක්ෂ හයක ක්‍රියාකාරිත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට මැතිවරණ කොමිෂන්‌ සභාව තීරණය කර තිබේ.

    ඒ එම පක්ෂවල ලේකම්‌, සභාපති ධුර
    ඇතුලු තනතුරු සඳහා පුද්ගලයින්‌ කිහිපදෙනෙකු ඉදිරිපත්වීම හමුවේ ගැටළු මතුවීම හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවී ඇති බැවිනි.

    ඒ අනුව අධිකරණ කටයුතු අවසන්‌ වනතුරු එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත්‌ වීමේ අවස්ථාවද හිමි නොවේ.

    වැලි ජාවාරම්කරුවන් පේදුරුතුඩුවේ දී අදත් පොලිස් නිලධාරීන් යටකරන්න හදලා – STF වෙඩිතැබීමක්

    0

    පේදුරුතුඩුව ප්‍රදේශයේ වැලි නිධිය පිහිටි ප්‍රදේශයේ සිට ආ කැබ් රථයක් විශේෂ කාර්ය බලකායේ සංඥා නොතකා මාර්ග බාධකය හරහා ගොස් ඉදිරියේ සිටි නිලධාරීන් යටකරගෙන යාමට උත්සාහ කිරීමේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ.

    අද උදෑසන මෙම සිද්ධිය වී ඇති අතර අණ නොතකා මාර්ග බාධකය පසුකරගෙන යාමේදී ඇණ ලෑලි සහිත බාධක දෙකක් කැබ් රථය ඉදිරියට යෙදුවද ඒවා ද පසු කරමින් වාහනයේ ටයර්වල හුලං නොමැති අවස්ථාවේදී පවා එම කැබ් රථය ඔවුන් ඉදිරියට ධාවනය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති වරයා කීය.

    එම කැබ් රථය මාර්ග බාදකයට ඉදිරියෙන් සිටි නිලධාරීන් යටකරගෙන යාමට තැත්කර තිබෙන අවස්ථාවේදී නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම අජිත් රෝහන මහතා පැවසීය.

    කෙසේ වෙතත් මෙම කැබ් රථය නොනවත්වා ම නොනවත්වාම දිගටම ධාවනය කර තිබේ.

    පසුව කැබ් රථයේ සිටි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙක් පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර ඇත .

    ඔවුන් ගේ වෙඩි වැදීම් තුවාල ඇති බවට වාර්තා වී ඇතැයි අජිත් රෝහණ මහතා කීය.

    මේ පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 23 සහ 26ක අයවලුන් බවට වාර්තා වී ඇත.

    මේ පිළිබඳ පේදුරුතුඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    මෙම කැබ් රථය සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

    එම මාර්ග බාධකයේ විශේෂ කාර්ය බලකා නිළධාරින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති වරයා කීය .

    යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පිහිටි ස්වභාවික වැල නිධියක් ආරක්ෂා කිරීම සඳහා පවත්වාගෙන යන මාර්ග බාධකයෙදී

    මෙම වැල නිධියෙන් විවිධ පුද්ගලයන් විසින් නිරන්තරයෙන් අනවසර වැලි ගෙන යන බවට පොලීසියට මීට පෙර වාර්තා වී ඇත.

    ඒ අනුව මෙම මාර්ග බාධකය යොදන ලද්දේ එම වැල නිධිය ආරක්ෂා කිරීම සඳහා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

    මීට පෙරද මෙම වැලි නිධිය අනවසරයෙන් රැගෙන යාමට ආ ටිපර් රථයක් එම මාර්ග බාධකයේ බාධකයේ සේවයේ සිටි නිලධාරීන් යට කරගෙන ගොස් ජීවිත හානි සිදුකළ සිද්ධියක් වාර්තා විය.

    දෙමළ තරුණ තරුණියෝ 1600ක් යුද හමුදාවට

    0

    යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 1600 දෙනකු පමණ යුද හමුදාවට පසුගිය මාස තුනේදී බඳවා ගෙන තිබේ.

    යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසුවේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති අලුත් අවුරුදු උත්සව අවස්ථාවට එක් වෙමිනි.

    තවමත් බෙදුම්වාදි මත දරන විවිධ පුද්ගලයන් හා කණ්ඩායම්වල බලපෑම් එල්ලවෙමින් තිබේ.

    එසේ තිබියදී පවා යාපන අර්ධද්වීපයෙන් මේ ආකාරයට දෙමළ තරුණ තරුණියන් යුද හමුදාවට ආධුනිකයන් වශයෙන් ඉදිරිපත් විම අප ලැබූ ජයග්‍රහණයක් බව ද හෙතෙම අවධාරණය කළේය.

    තවත් අන්තවාදී සංවිධාන කිහිපයක් තහනමට සැරසේ

    0
    CORRECTION / TOPSHOT - An image grab taken from a press release issued on April 23, 2019 by the Islamic State (IS) group's propaganda agency Amaq, allegedly shows eight men it said carried out a string of deadly suicide bomb blasts on Easter Sunday in Sri Lanka, lined up at an undisclosed location. The man in the centre is believed to be Zahran Hashim, who was identified by the Sri Lankan police as the leader of the Islamist National Thowheeth Jama'ath (NTJ) group, which Colombo has blamed for the attacks. The Islamic State group claimed a series of bombings on churches and luxury hotels in Sri Lanka that killed more than 320 people on April 21, and released the photo of the men it said were behind the "blessed attack", describing them as "fighters" from the terror network. The massive casualty toll would make the Easter attacks the deadliest overseas operation claimed by IS since the group proclaimed its worldwide caliphate in mid-2014. - THIS PICTURE WAS MADE AVAILABLE BY A THIRD PARTY. AFP CAN NOT INDEPENDENTLY VERIFY THE AUTHENTICITY, LOCATION, DATE AND CONTENT OF THIS IMAGE. THIS PHOTO IS DISTRIBUTED EXACTLY AS RECEIVED BY AFP. / AFP / AAMAQ NEWS AGENCY / HO / THIS PICTURE WAS MADE AVAILABLE BY A THIRD PARTY. AFP CAN NOT INDEPENDENTLY VERIFY THE AUTHENTICITY, LOCATION, DATE AND CONTENT OF THIS IMAGE. THIS PHOTO IS DISTRIBUTED EXACTLY AS RECEIVED BY AFP.

    ඉදිරියේදී තවත්‌ අන්තවාදී සංවිධාන කිහිපයක්‌ තහනම්‌ කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර්‌ අද්මිරාල්‌ ආචාර්ය සරත්‌ වීරසේකර පවසයි.

    කොළඹ ඊයේ පැවති උත්සවයකින්‌ අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්වමින්‌ ඔහු මේ බව කියා සිටියේය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11ක්‌ තහනම්‌ කරමින්‌ අතිවිශේෂ ගැසට්‌ පත්‍රයක්‌ පෙරේදා නිකුත්‌ කෙරිණ.

    එලෙස‌ තහනම්‌ කරන ලද ඉස්ලාමීය
    සංවිධාන එකොලහේ සාමාජිකයින්‌ මේ වනවිට මුස්ලිම්‌ පල්ලිවල භාරකාර මණ්ඩලවල සාමාජිකත්වය දරන්නේ නම්‌
    ඔවුන්ට වහාම එම ධුරවලින්‌ ඉවත්‌ වන ලෙස වකුෆ්‌ සභාව දැනුම්‌ දී ඇත.

    මුස්ලිම්‌ ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්‌. අශ්රෆ්‌ සඳහන්‌ කළේ ඊයේ පැවති වකුෆ්‌ සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹි
    බවය.

    එක්සත්‌ තව්හිද්‌ ජමාත්‌, සිලෝන්‌ තව්හිද්‌ ජමාත්‌, ශ්‍රී ලංකා තව්හිද්‌ ජමාත්‌, සමස්ත ලංකා තව්හිද්‌ ජමාත්‌, ජමියතුල්‌ අන්සාරි සුන්නතුල්‌ මොහොමදියා, දාරුල්‌ අදර්‌ හෙවත්‌ ජමිඋල්‌ අදර්‌ මොස්ක්‌, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඉරාක සහ සිරියානු ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය , අල්කයිඩා, සේව්‌ ද පර්ල්‌ සහ සුපර්‌ මුස්ලිම්‌ යන සංවිධාන මෙලෙස තහනම්‌ කෙරිණි.

    ඉන්දියාවට පිහිනා වාර්තා තැබූ රොෂාන්ට උසස්වීමක්

    0

    තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරමට පැමිණෙමින් නව ආසියානු වාර්තාවක් තැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර මහතා නායක ගුවන්භට නිලයේ සිට කෝප්‍රල් තනතුර දක්වා උසස්කර තිබේ.

    ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් අද (15) එම උසස්වීම ගුවන් හමුදා මූලස්ථානයේදී ඔහුට පිරිනමා ඇත. ඒ ඔහු දැක්වූ දක්ෂතාවය වෙනුවෙනි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර මහතා එම පිහිනුම් වාර්තාව පිහිටුවීමට සමත් වන්නේ පසුගිය 11 වෙනිදාය.

    ගම්පහින් අවුරුදු නෑගම් ගිය පිරිස රැගත් වෑන් රථය ප්‍රපාතයට

    0

    ගම්පහ සිට අවුරුදු නෑගම් යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් කන්දකැටිය බෝපිටිය ප්‍රදේශයේදී අද (15) සවස ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙක් මියගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇත.

    තුවාලකරුවන් අතර කුඩා දරුවන් පස් දෙනක් සිටින බව කන්දකැටිය රෝහල් තොරතුරු සදහන් කළේය.

    තුවාලකරුවන් මුලින්ම ඇතුලත්කර ඇත්තේ කන්දකැටිය රෝහලටය. මූලික ප්‍රතිකාරවලින් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔවුන් මහියංගන මුලික රෝහලටත් ඇතුළත්කර තිබේ.

    අන්තර්ජාලයෙන් බොරු කීවොත් හිරේ යවන්න නීති සැකසේ

    0

    අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කරයි.

    එසේම ජාතීන් අතර සංහිදියාවට බලපෑම් කරන අන්තවාදයට සහ ත්‍රස්තවාදයට අනුබල දෙන ප්‍රකාශ සිදුකරන පුද්ගලයින්ට දඩුවම් ලබාදීමට සදහාද දණ්ඩනීති සංග්‍රහයේ සංශේධන සිදුවන බවද ඔහු කීය.

    ඒ අනුව දැනට පවතින නීතිය ඉක්මනින්ම සංශෝධනය කිරීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටක් සදහන් කළේය.

    කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පොලිස් ස්ථානවල පැල 1000 සිටුවීමේ වැඩසටහනක සමාරම්භක උත්සවයයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවෙමින් අද (15) සවස මුල්ලේරියාව පොලිස් ස්ථානයේදී මාධ්‍යෙව්දීන් හමුවේ ඇමතිවරයා ඒ බව සදහන් කළේය. පොලිස් ස්ථානවල පැල සිටුුවීමේ වැඩසටහන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකි.

    කොවිඩ් රෝගීන්ට ඇතිවන රුධිර කැටිගැසීම ඇස්ට්‍රාසෙනෙකා එන්නත දුන් පසු 8 ගුණයකින් ඉහළට

    0
    vaccine

    කොවිඩ් ආසාදනය වූ රෝගියකුට ඇතිවන රුධිර කැටි ඇතිවීමේ අවදානම ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීමෙන් පසු 8 ගුණයකින් ඉහළ යන බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වෙයි.

    COVID-19 රෝගීන් මිලියනයකින් 39 දෙනෙකුට Cerebral venous thrombosis (සීවීටී) යන රුධිර කැටිගැසීමේ තත්ත්වයක් ඇති වී තිබේ.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන් මිලියනයකට පස් දෙනෙකුට පමණ මෙම තත්ත්වය ඇතිවූ බව එම වාර්තාව කියයි.

    කොවිඩ්-19 ආසාදනයෙන් පසු ඇතිවන මෙම අවදානම, සාමාන්‍යයෙන් මෙම තත්ත්වය ඇතිවීමට වඩා 100 ගුණයකින් වැඩි බව කොරොන වයිරස් රෝගීන් 500,000 කට අධික සංඛ්‍යාවක් අධ්‍යයනය කිරීමෙන් හෙළි වී ඇත.

    කෙසේ වෙතත්, COVID-19 ආසාදනය වූ 30 ට අඩු පුද්ගලයින් 30%කට පමණ CVT තත්ත්වය ඇතිවන බවද ඔක්ස්ෆර්ඩ් අධ්‍යයනයෙන් අනාවරණය කෙරිණ.

    බොහෝ රටවල් වල ඇතැම් වයස් කාණ්ඩවලට ඇස්ට්‍රාසෙනෙකා එන්නත සීමිත ලෙස භාවිතා කිරීම හෝ නවතා දැමීමට පියවර ගෙන තිබේ.

    රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉතා දුර්ලභ අවස්ථා පිළිබඳ වාර්තා වීමෙන් පසුව ඩෙන්මාර්කය පවා එන්නත් කිරීමේ වැඩසටහනෙන් ඇස්ට්‍රාසෙනෙකා ස්ථිරවම අතහැර දමා ඇත.

    පෝට් සිටි පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

    0

    කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කරයි.

    එම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දු කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් සලකා බැලීමට නියමිතය.

    මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන මහත්වරුන් , තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිසක් විසිනි.

    අවුරුදු දිනයේ රිය අනතුරුවලින් 14ක් මරුට

    0
    Car crash accident on street with damaged automobiles after collision

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදුණු ඊයේ (14) දින රථවාහන අනතුරුවලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

    අධිවේගී මාර්ගවල අනතුරු 12 ක් සිදුවී ඇති අතර වෙනත් ස්ථානවලින් අනතුරු 109 ක් වාර්තා වී තිබේ.

    පසුගිය අඟහරුවාදා වාර්තා වූ අනතුරු 121 කින් පුද්ගලයින් 74 දෙනෙකු තුවාල ලබා ඇත.

    මෙම අනතුරුවලින් බොහොමයක යතුරුපැදි 53 ක් සහ ත්‍රිරෝද රථ 30 ක් සම්බන්ධ වී තිබේ.

    පසුගිය පැය 24 තුළ බීමත් රියදුරන් 758 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කළේය.

    මත්පැන් පානය කර රිය පැදවූ රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

    මේ අතර, පෙර වසරවලට සාපේක්ෂව අපේ‍්‍රල් මාසයේ උත්සව සමයේ වාර්තා වූ මෝටර් රථ අනතුරු වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන්නේය.

    ආනයනවලින් ලොව ලොකුම වන විනාශය කරන බවට යුරෝපා සංගමයට චෝදනා

    0

    යුරෝපා සංගමය යනු ලොව විශාලතම නිවර්තන වනාන්තර විනාශය සිදුකරන ආනයකරුවකු බව ලෝක වනජීවි අරමුදල (WWF) චෝදනා කරයි.

    යුරෝපා සංගමය කාබන් විමෝචනය අතින් දෙවැනි වන්නේ ද චීනයට පමණක් බවද එම අරමුදලේ නවතම වාර්තාවක් සඳහන් කරයි.

    එමගින් තවදුරටත් හෙළි වී ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාමෙන් සිදුවන නිවර්තන වනාන්තර විනාශයෙන් සියයට 16 ක් 2017 දී යුරෝපා සංගම් ආනයන සමඟ සම්බන්ධ බවයි. එය හෙක්ටයාර 203,000 ක් සහ ටොන් මිලියන 116 ක කාබන්ඩයොක්සයිඩ් යුරෝපා සංගම් රටවලට ආනයනය කරන නිෂ්පාදන හා වෙළඳ භාණ්ඩ නිසා ඇතිවූ බව එම වාර්තාවේ දැක්වේ.

    යුරෝපා සංගමයේ ආනයන නිසා 2015 සහ 2017 අතර සිදුවූ වනාන්තර විනාශයෙන් සියයට 80 කට ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය ඇතුළු විශාලතම ආර්ථිකයන් ඇති රටවල් අටක් එක්ව වගකිව යුතු බව එම වාර්තාවේ දැක්වේ.

    මෙම වසන්තයේ වන විනාශය මැඩපැවැත්වීම සඳහා නීති සම්පාදනය සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට යුරෝපා කොමිසම සූදානම් වේ. WWF පවසන්නේ යුරෝපා සංගමයේ ගෝලීය පාරිසරික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් හා ඵලදායී නීති සඳහා හදිසි අවශ්‍යතාව මෙම වාර්තාව මගින් අවධාරණය කරන බවයි.

    සොබාදහම විනාශ කිරීමට දායක වූ ඕනෑම නිෂ්පාදනයක් ‘නීත්‍යානුකූලව’ හෝ නීති විරෝධී ලෙස යුරෝපා සංගම් වෙළඳපොළට ඇතුළු වීම වැළැක්විය යුතු බව ද එහි සඳහන් වේ.

    තහනම් කල අන්තවාදී සංවිධානවලට උදව් කළොත් වෙන දේ

    0

    අංජනා මල්ලවආරච්චි

    ආණ්ඩුව මගින් තහනම් කරන ලද මුස්ලිම් සංවිධාන 11කට උදව් උපකාර කරන සහ ඒවායේ ක්‍රියාත්මක වැඩසටහන්වලට සහභාගී වන පුද්ගලයින්ට විරුද්ධව කොළඹ මහාධිකරණය මගින් විමසනු ලබන නඩුවක දී වරදකරුවකු වූවහොත් ඔහුට වසර 20කට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමකට යටත් විය යුතුය.

    මීට අමතරව එම සංවිධානවල තහනම් සංවිධාන ක්‍රියාකාරකම්වලට අනුබල දීමට වරදකරු වන පුද්ගලයකුට වසර 10ක බන්ධනාගාරගත කිරිමේ දඬුවම් හිමි වේ.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් සංවිධානය 11ක් තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ මේ බව සඳහන් වේ.

    සූවස් ඇළේ හිරවූ එවර්ගිවන් නෞකාව වන්දිය ගෙවන තෙක් ඊජිප්තු අත්අඩංගුවේ

    0

    සූවස් ඇළ අවහිර කරමින් පසුගිය මාසයේදී ලෝක ආර්ථිකයට දැවැන්ත පාඩුවක් කළ එවර්ගිවන් යෝධ බහාලුම් නෞකාව අයත් ජපන් හිමිකාර සමාගමෙන් ඩොලර් මිලියන 900 ක් වන්දි වශයෙන් ඊජිප්තුව ඉල්ලා සිටී.

    එක්සත් රාජධානියේ එවර් ගිවන් හි රක්ෂණ සමාගමක් පැවසුවේ සූවස් ඇල අධිකාරිය එම ඉල්ලීම සමථයකට පත් කිරීම ප්‍රතික්ෂේප කළ බවයි.

    නැව මුදාගැනීමේ ප්‍රසාද දීමනාවක් සඳහා ඩොලර් මිලියන 300 ක් සහ කීර්තිය නැතිවීම සඳහා ඩොලර් මිලියන 300 ක් ඇතුළත් වන මෙම ඉල්ලීම “අසාමාන්‍ය ලෙස විශාල” සහ “බොහෝ දුරට සහාය නොදක්වන” යනුවෙන් රක්ෂණ සමාගම පවසයි.

    එවර් ගිවන් නෞකාව සූවස් ඇළේ මැද මාවත වන ග්‍රේට් බිටර් විලෙහි නැංගුරම් ලා ඇත.

    සූවස් ඇල අධිකාරියේ (එස්සීඒ) සභාපති ඔසාමා රබී අඟහරුවාදා පවසා ඇත්තේ වන්දි වශයෙන් ඩොලර් මිලියන 900 ක් ගෙවීමට අපොහොසත් වීම නිසා එවර්ගිවන් නෞකාව රඳවා ගත් බව ය.

    මෙම දැවැන්ත ඇස්තමේන්තුව පදනම් වී ඇත්තේ “ගොඩබෑමේ යාත්‍රාවෙන් සිදුවූ පාඩු මෙන්ම නැව්ගත කිරීමේ හා නඩත්තු කිරීමේ පිරිවැය” මත ය.

    යටිතල පහසුකම් හානි හෝ බාධා කිරීම් සඳහා වන හිමිකම් ඇතුළුව තෙවන පාර්ශවීය වගකීම් සඳහා නෞකාවේ හිමිකරු ෂෝයි කිසන් කයිෂා විසින් මෙම නෞකාව රක්ෂණය කළ එක්සත් රාජධානියේ ක්ලබ් රක්ෂණ සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, වන්දියේ විශාලත්වය නොතකා SCA සමඟ හොඳ විශ්වාසයකින් සාකච්ඡා කරමින් සිටින බවයි.

    “යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට SCA විසින් ගත් තීරණය ගැන අපි කලකිරීමට පත් වෙමු.” යැයිද ඔවුන් පවසයි.

    “වන්දි ගෙවනතුරු නැව ඊජිප්තුවේ රඳවා තබන බවට SCA විසින් කරන ලද අදහස් දැක්වීම ගැන අපි කලකිරීමට පත් වෙමු. මේ කාලය තුළ එහි කාර්ය මණ්ඩලයට යාත්‍රාවෙන් පිටවීමට නොහැකි වනු ඇත.” යැයි නෞකා සමාගම පවසයි.

    ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළට

    0

    ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සියයට 05 කින් ඉහළ ගොස් ඇත.

    බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 66යි සත 58ක් ලෙසිණි. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 63යි සත 15ක් ලෙසිණි.

    ශ්‍රී ලංකා පොලීසියට ඩ්‍රෝන බලකායක්

    0

    ශ්‍රී ලංකාවේ අපරාධ මර්දන කටයූතු සදහා ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට ඩ්‍රෝන යානා 05 ක් පරිත්‍යාගයක් ලෙස ලැබී ඇත.

    ස්වාභාවික ආපදා ස්ථාන තක්සේරු කිරීම සහ ප්‍රතිසාධනය,  අපරාධ විමර්ශනය සහ සමුද්‍රීය මිනිස් ඡාවාරම මැඩ පැවැත්වීම ඇතුළු  පුළුල්පරාසයක් තුළ ‌ඩෝනා තාක්ෂණය ඔස්සේ ගුවනේ සිට නිරීක්ෂණ සිදු කිරීම සදහා  ශ්‍රී ලංකා පොලීසියේ හැකියාව වර්දනය කිරීමටත් ඒ් සදහා සහය දැක්වීමටත් මෙම ‌ ඩෝන යානා පරිත්‍යාග කරන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

    මෙම ඩ්‍රෝන 05 ශ්‍රී ලංකා පොලීසියට පරිත්‍යාගකරන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ මර්දනයට සහයවීම සදහා ඒ්කාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකාය සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය ඒක්වය.

    “ශ්‍රී ලංකාවේ නීතිවිරෝධි සමුද්‍රීය මිනිස් ඡාවාරම් වැලැක්වීමට සහ බිද දැමීමට අඛණ්ඩව උත්සහ කිරීම පිභිබදව ශ්‍රී ලංකා පොලීසියට ස්තූතිවන්ත වෙනවා. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සාාමූහිකවීම තුළින් ඡාවාරම්කරුවන්ට සහ නීති විරෝධි සංංක්‍රමනිකයින්ට ලබාදෙන ප්‍රබලම පණිවිඩය වන්නේ බෝට්ටු  මගින් නීතිවිරෝධි ලෙස ඕස්ට්‍රේලියාව පැමීණිමට කිසිදු ඉඩකඩක් නොමැති බවයි” යැයි මෙම ඩෝන යානා පරිත්‍යාග කරමින් අන්තර්ජාලය ඔස්සේ පැවැති උත්සවයක් අමතමින් ඒ්කාබද්ධ නියෝජිතායන කාර්ය සාධක බලකායේ අද්මිරාල් හීල් මහතා සදහන් කළේය.

    ඒහිදී ශ්‍රී ලකා පොලීසිය වෙනුවෙන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා  අදහස් දක්වමින් සදහන් කරනු ලැබුවේ භූගෝලීය වශයෙන් සැලකූව විට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අසල්වැසියන් වන බවය.

    “ශ්‍රී  ලංකා පොලිස් සේවයට අති නවීන ඩ්‍රෝන තාක්ෂණය පරිත්‍යාග කිරීම අප වෙත සිදුකළ විශාල ගෞරවයක්. මෙම ඩ්‍රෝන යානා රථ වාහන තදබදය අධික්ෂණය කිරීම, සෝදිසි සහ මුදාගැනීම්, ආවේක්ෂණය සහ පුද්ගල ජාවාරම් , අපරාධ සහ පාරිසරික ආරක්ෂාව සම්බන්ධ මෙහෙයුම් සදහා විශාල වශයෙන් යෙදවිය හැකියි.” යැයිද පොලිස්පතිවරයා කීය.

    ලබන මාසයේ රනිල් පාර්ලිමේන්තුවට

    0

    ඉදිරි මාසයේදී එක්සත්‌ ජාතික පක්ෂ නායක රනිල්‌ වික්‍රමසිංහ මහතා සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගනු ඇති බව වාර්තා වේ.

    එක්සත්‌ ජාතික පක්ෂ සභාපති
    වජිර අබේවර්ධන මහතා පවසන්නේ එක්සත්‌ ජාතික පක්ෂයේ ඒකමතික තීන්දුව මත රනිල්‌ වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව
    නියෝජනය කිරීමට සුදානමින්‌ පසුවන
    බවයි.

    ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්‌ එක්සත්‌ ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඒ බව කීය.

    ව්‍යායාම කරද්දී රෙදි මාස්ක් දැම්මොත් ප්‍රතිඵල අඩුයිලු

    0

    ව්‍යායාම කරන විට රෙදි මුඛ ආවරණ භාවිතා කිරීමෙන් ව්‍යායාම මගින් අපේක්ෂා කරන ප්‍රතිඵල සීමා කරන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

    පර්‍යේෂණයේදී තහවුරු වී ඇත්තේ මුඛ ආවරණ පැළඳ ඇවිදින, දුවන හෝ ශාරීරික සුවතා කරන්නන්ට ඉහළ තීව්‍රතාවයකින් යුත් ව්‍යායාම වලදී ක්ලාන්ත ගතියක් දැනෙන බවත් ඔවුන්ගේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වන බවත් ‍‍ය.

    මුඛ ආවරණයක් සමඟ ව්‍යායාම කරන අතරතුර හෘද ස්පන්දන වේගය අඩු මට්ටමක පවතින බවද සොයා ගෙන ඇත.

    එමෙන්ම මුඛ ආවරණය ඉවත් කරන තෙක් හෘද ස්පන්දන වේගය සාමාන්‍ය අතට පත්කරගැනීමට නොහැකි බවටද පර්යේෂණයේ දී හෙළි වී තිබේ.

    මේ පිළිබඳ කරන ලද කුඩා සායනික අත්හදා බැලීමේ ප්‍රතිඵල බ්‍රිතාන්‍ය ක්‍රීඩා සඟරාවේ (BJSM) අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කරන ලදී.

    පවතින කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් පිරිස් ගැවසෙන ස්ථානවල ව්‍යායාම් කිරීමේදී මුඛ ආවරණ පැළඳීම කොවිඩ් වෛරස් පැතිරීම වැළැක්වීමට උපකාරී වනු ඇතැයි විද්වතුන් යෝජනා කළ මතයකි.