fbpx
තවත්
    මුල් පිටුවරැල්ලප්‍රශ්නය වන්නේ ජනපති ගෝඨාභය මන්ත්‍රී විජයදාසට දෙකක් නොකීවානම්ය

    ප්‍රශ්නය වන්නේ ජනපති ගෝඨාභය මන්ත්‍රී විජයදාසට දෙකක් නොකීවානම්ය

    සමස්ත රට වැසියන් අලුත් අවුරුද්ද සුබ සිතිවිලිවලින් පටන් ගත්තා පමණි. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මුළු රට ඉදිරියේ දේශපාලන බෝම්බයක් අතහැරියේය. කලින් කලට දේශපාලන බෝම්බ අත්හරින විජයදාසට මෙය අරුමයක් නොවුනද මේ සිදුවීමේ හතර කොණ සොයන්නන්ට එය අන්තෝජටා බහිජටා වී ඇත්තේය.

    කොළඹ වරාය නගරය හා බැඳී පවතින පනත් කිහිපයක් පිළිබඳව ආණ්ඩුව විවේචනය කරන්නට මෙන් විජයදාස පටන්ගත් මාධ්‍ය හමුව නිමාවට පත්වූයේ ජනපති ගෝඨාභය, ජනපති කාර්ය සාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ ඇතුළු තමන්ගේ කලක් කුළුපඟ මිතුරු ලැයිස්තුවට අවලාද නගමිනි.

    මෙම කතාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී මූලිකවම දෙදෙනෙකු පිළිබඳව සිහියට නැගෙයි. පළමුවැන්නා නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය. දෙවැන්නා මන්ත්‍රී විජයදාස රාජපක්ෂය. විජයදාසට කලින් වීදුරු ගෙයි සිට ආණ්ඩුවට ගල් ගසනු ලැබුවේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය.

    රටට නිවැරදි දේ දීමට මහා සංඝරත්නය පෙරට ආ යුතු බව සමස්ත රට වැසියන් කාලයක සිට අදහන්නේ වුවද මුරුත්තෙට්ටුවේ හිමිගේ අභිප්‍රාය වූයේ හෙද සංගමය ඔස්සේ පැමිණ රටේ බලවතුම සංඝ පීතෘන්වහන්සේ වීමේ සිහිනය සැබෑ කර ගැනීමය.

    පන්සල දේශපාලන කේන්ද්‍රස්ථානයක් කිරීම ගැන බෞද්ධයන්ට විවිධ මතවාද තිබෙන්නට පුළුවන. එහෙත් මැදහත් බෞද්ධයන් නම් පන්සල හෝ සංඝයාවහන්සේලා දේශපාලන අතකොලු වීම අගයන්නේ නැත. දේශපාලනය හැසිරවීම නොව ඔවුන් රට සහ ජනතාව වෙනුවෙන් පෙරට ආ යුතුය. එසේ රට පෙරමුණ තබා කටයුතු කරන්නේ නම් රෙජීම් මාරුකිරීමට මැදිහත්වී ඉන් උදව් පතන්නට උවමනාවක් නැත.

    මුරුත්තෙට්ටුවේ හිමි කල්පනා කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන් ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා ද අභයාරාම දායකයෙකු කිරීමයි. ඊට හේතු කිහිපයක් ඇත. මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ දායක සභාවේ ඉල්ලීම් එක දුරකථන ඇමතුමෙන් සිදුවිය යුතුය. මහින්ද ඒ වැඩේ කළ ද ගෝඨාභය ඒ වැඩේට කැමති වූයේ නැත. ඒ නිසා මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුව විවේචනයට පටන් ගත්තේ ඉතාම කෙටි කලෙකින් පිරිහුණු ආණ්ඩුව මෙය බව කියමිනි.

    කිරි කලයට ගොම බිදුවක් දැමුවත් ඇතිය. ඒ බව දන්නෝ දනිති. ඒ නිසා එසේ දේශනා කරන ගමන්ම උන්වහන්සේ මහින්දගේ හොඳ කීවේය. එමගින් ආණ්ඩුව මුළුමනින්ම මහින්දට හැරී සිය ගජ මිතුරු සමාජයට සළකන්නට ලැබෙනු ඇතැයි මුරුත්තෙට්ටුවේ හිමි සිතන්නට ඇත. ඊට අවශ්‍ය එක් එක් තුරුම්පු කාලෙන් කාලෙට අභයාරාමයෙන් මතුවිය. ඇතැම්විට ඒ තුරුම්පු තනිකරම බයි සමාජයම නොවු අතර ඇතමෙක් ටොයියන් වූහ. මේ ගැන වරක් අරලියගහ මන්දිරයට පැමිණි පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පැමිණිලි කර තිබුණෝය.

    විජයදාස රාජපක්ෂට අවශ්‍ය වූයේ තමන් මුලාවක වැටුණු බවට වූ ලජ්ජාවෙන් ගොඩඒමේ මාර්ගයක් සොයා ගැනීමයි. බැසිල් හැදූ අගමැති මහින්දගේ නායකත්වයෙන් යුතු පොහොට්ටුවෙන්ම පාර්ලිමේන්තුවට පැමිණි විජයදාස තමන්ට කැබිනට් ඇමතිකමක් ලැබෙනු ඇතැයි මුලින් කල්පනා කළේය.

    විජයදාස එසේ නොහිතන්නට ද හේතුවක් නැත. ඒ වෙන කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩුවේ සිට මේ ආකාරයටම හම්බන්තොට වරාය චීනයට බදු දීමේ කැබිනට් තීන්දුව විවේචනය කිරීම සහ අධිකරණ අමාත්‍යධූරය හොබවනතුරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බවට කළ ප්‍රසිද්ධ ප්‍රකාශ මත එකල කැබිනට් ඇමතිකම් ගැලවුණු නිසාය.

    මෙකල ඇමතිකම් පැතුව ද ජනපති ගෝඨාභය මන්ත්‍රී විජයදාසට ඇමතිකමක් නොදුන්නේය. බැසිල්ගේ ලැයිස්තුවට සියල්ල සිදුවන බවට ඉඟි කළ විජයදාස ගෝඨාභය ජනපතිගෙන් එහි වාඩුව ගන්නට පෙරට ආවේ මුරුත්තෙට්ටුවේ හිමිගේ පෙරැත්ත මතය. හැමෝම ආණ්ඩුවට බැනීමේ බෙරය වයනවිට නලා පිඹින්නන්ට ද කසකරුවන්ට ද වැඩ වලින් අඩුවක් නැත.

    ඒ බව දන්නා විජයදාස මෙවරත් බෙරය ගසා බැලුවේය. යහපාලන ආණ්ඩුවට පඹයා ආදර්ශ කළ විට විජයදාසට ලැබුණු තරවටුව ඇමතිකම ගිලිහීමය. මෙවර විජයදාස එකවර කාරණා දෙකක් ජනගත කරන්නට බැලුවේය. එකක් මිස්ට ටුවෙන්ටි ප්‍රසන්ට් කතාවය. එමගින් බැසිල් රාජපක්ෂට පහර ගැසූ විජයදාස දෙවනුව හැරුණේ ගෝඨාභය රාජපක්ෂ ජනපති දෙසටය. නිතර පඹයාගෙන් උදාහරණ ගැනීම විජයදාසගේ සිරිතකි. යහපාලන ආණ්ඩුවේ සිටින කාලයේ විජයදාස මාධ්‍යට කීවේ මේ ආණ්ඩුවේ මම පඹයෙක් වෙන්නෙ නැහැ කියලාය.

    ඒ තරමට විජයදාසට පඹයා සමීප වූයේ කෙසේ ද යන්න වෙනම කතාවකි. නමුත් ජනපති ගෝඨාභයට පඹයා යැයි කීමට විජයදාස ඉස්සරවූවා වැඩියැයි හැඟේ. ගෝඨාභය ෆේල් කතාව මෙන්ම මේ කතාවේ කුප්‍රකට අරමුණ ජනපති ගෝඨාභය දේශපාලනයෙන් ඈත් කිරීමය. දේශපාලනය නොදන්නා අයෙකු ලෙස ජනපති ගෝඨාභය තවදුරටත් හංවඩු ගැසීමට විජයදාස දෙවරක් නොසිතන්නේ ඒ නිසාය. පඹයන් සිටින කුඹුරේ පියාඹන කොක්කුන්ගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටය. ඒ නිසා රට කරවන්නට විජයදාස ලොජික්ම උවමනා වන්නේ නැත. ඔහුගේ වාසියට කී කතා හැර රට පැත්තෙන් විජයදාස කී කතාවක් වේ නම් එය රැගෙන ඉදිරි ගමන යා හැකිය.

    ජනතාව මේ රට හදන්නට හැකි නායකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනපති ගැන තැබූ විශ්වාසය එක් රැයකින් අවසන් නොවේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනපති කුමන අවස්ථාවක හෝ එදා ජනතාව දුටු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලෙස ක්‍රියා කරනු ඇතැයි ද වෙනම ගමනක් යනු ඇතැයි ද සියලු ජනතාව විශ්වාස කරති. ඒ නිසා ප්‍රශ්නය වන්නේ ජනපති ගෝඨාභය මන්ත්‍රී විජයදාසට දෙකක් නොකීවානම්ය.

    දේශපාලන වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.