කොළඹ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය පිහිටි නිල මැදුර ගොඩනැගිල්ලේ ඉහළ මහලේ ස්ථාපිත කර ඇති කොළඹ ගුවන් ආරක්ෂක පද්ධතියට සම්බන්ධව සිටි ගුවන් හමුදා සැරයන්වරයෙක් මියගොස් ඇත.
මෙම ගොඩනැගිල්ලෙහි 21 වෙනි මහලේ පිහිටි ගුවන් හමුදා නිලධාරීන් විවේකීව රැදී සිටින බැරක්කය තුළදී මෙම සැරයන්වරයා මියගොස් සිටියදී සිරුර හමුවී ඇත්තේ ඊයේ දින බව නාරාහේන්පිට පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටි පිටිගල බටදූවේ පදිංචි 38 හැවිරිදි සැරයන්වරයෙක් මෙසේ මියගොස් ඇත.
මෙම සැරයන්වරයා මියගොස් ඇත්තේ හෘදයාබාදයකින් බව විමර්ශනයේදී හෙළිවූ බව නාරාහේන්පිට පොලීසිය සඳහන් කළේය.