fbpx
තවත්
    මුල් පිටුවජීවන රටාවපණු රෝග මර්ධනයට

    පණු රෝග මර්ධනයට

    බිළිදෙකු මෙළොව එළිය දුටු තැන සිට මවකට පැවරෙන වගකීම අතිමහත්. දරුවාගේ සෞඛ්‍යය හා පෝෂණය ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. විශේෂයෙන් දුවපැන ඇවිදින කාලය තුළ බාහිර පරිසරයේ අපද්‍රව්‍යයන් මුඛය හරහා සිරුරට ඇතුළු විමේ ඉඩකඩ වැඩියි. ඒ නිසාම වයස අවුරුද්දකට වැඩි දරුවකුට පණු බෙහෙත් නිර්දේශය බටහිර වෛද්‍ය ක්‍රමය තුළත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළත් සිදුවෙනවා. එය දරුවකුගේ නිරෝගී සෞඛ්‍යමත් ජිවිතයට හොඳ අත්වැලක් වේවී.

    උපදෙස්

    මාතෘ හා ළමා සෞඛ්‍ය ජනමාධ්‍ය උපදේශිකා
    ශ්‍යාමලී පතිරගේ මහත්මිය

     

    දරුවාට පණු රෝගයක් ඇති බව අඟවන ලක්ෂණ

    • කෑම අරුචිය
    • මලානික බව
    • කෙට්ටු වීම
    • දරුවා නොසන්සුන් වීම
    • පසුපස ප්‍රදේශය රාත්‍රියට කැසීම හෝ එවැනි ඉරියව් දැක්වීම
    • ඔක්කාරය
    • පාචනය
    • උදරාබාධ
    • විටමින් ඌනතා
    • නිරක්තිය
    • මුහුණේ සුදු පැහැති පුල්ලි මතුවීම
    • ඇගේ පලු දැමීම
    • නිතර පවතින කැස්ස
    • මුත්‍රා දැවිල්ල
    • නිතර මුත්‍රා යාම
    • රාත්‍රියට ගුද මාර්ගය වටා කැසීම
    • මළපහ සමඟ ලේ පිටවීම
    • දත්මිටි කෑමේ තත්ත්ව
    • නින්ද නොයාම
    • කලාතුරකින් සිදුවන පණුවන් වමනය
    • දීර්ඝකාලීනව පණු රෝගය ඇත්නම් හුණු / පස් වැනි දැ කෑමට ප්‍රියතාවයක් දැක්වීම

    නිසි ලෙස පණු බෙහෙත් ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය යනු කුමක්ද ?

    පණු රෝග කියන්නේ ඉතා පහසුවෙන් බෝවිය හැකි රෝගයක්. විශේෂයෙන් කුඩා දරුවන් අතර බහුලවම හමුවන පණු රෝගයක් වන්නේ කිරි පණු රෝගය වේ.
    මේ කිරි පණු බිත්තර සුළඟින් පවා ව්‍යාප්ත වේ. ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, තුවා ඇඳුම් වල තැවරීම තුළ දරුවාට පහසුවෙන් මේ පණු රෝගය බෝවීමට පුළුවන්.
    මේ නිසා පණු බෙහෙත් ලබා ගැනීමේ දී පහත ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතුමයි. එසේ නැතහොත් නැවත නැවත ආසාධනය වීම සිදුවේ.
    පවුලේ සාමාජිකයන් සෑම දෙනාම එකම දිනයක දී පණු බෙහෙත් ලබා ගැනීම.
    ඇද ඇතිරිලි, තුවා, යට ඇඳුම් වැනි දේවල් හොඳින් සෝදා පිරිසිදු කිරීම. පුළුවන්නම් නටන උණු ජලයේ තම්බා සෝදා ගැනීම වගේම තද හිරු එළියේ වේලා ගැනීම වැදගත්.

    සති 02 කට වරක් නැවත වරක් පණු ඖෂධ ලබා ගත යුතුයි.

    දරුවකුට පණු ඖෂධ ලබා දිය යුතු වයස් කාණ්ඩය

    සාමාන්‍යයෙන් දරුවකු අමතර ආහාර / පාන ලබාගැනීම පටන්ගත් දා සිට ඕනෑම අවස්ථාවක පණු රෝගයක් සැදීමට පුළුවන් හැකියාව තියනවා. නියමිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම් මාස 28 ක් පමණ වනතෙක් පණු බෙහෙත් ලබාදීම අවශ්‍ය වෙන්නැහැ. නමුත් කුඩා දරුවන් නිතර බිම අතපත ගෑම හා අත කටේ දමා ගැනීම සිදු කරනවා. ඒ තුළින් පණු ආසාධන ඇතිවීමට ඉඩකඩ වැඩියි. මේ නිසා රෝග ලක්ෂණ යම් මට්ටමක හෝ පළ කරන්නේ නම් පණු බෙහෙත් ලබාදීම සුදුසුයි. එසේම පණු ඖෂධ වල අතුරු ආබාධ නොමැති තරම්ය.

    පණු රෝග ඖෂධ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ

    • Mebandazole
      100g  – උදේ – සවස දින 03 ක් ලබා දීම.
      කිරි පණු ආසාධන සඳහා පමණක් නම් 500 g  එක්දින ප්‍රතිකාරය.
    • Pyrantel
      පෙති හෝ සිරප් වශයෙන් ලබා ගන්න පුළුවන්.
      වයස අවුරුදු 02 – වයස අවුරුදු 09 වැඩි දරුවකුට තේ හැඳි 02 ක් බර අනුව ලබා දෙන්න.

    සැලකිය යුතුයි.
    අසුරණයේ උපදෙස් හොඳින් කියවා බලා දරුවාට ඒ අනුව ලබාදීම අවශ්‍යයි.

    ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර

    • කුඹුරු ඇට කසාය
    • කුඹුරු ඇට මද
    • සුදුළුණු
    • අරළු
    • වළඳ සහල්
    • කළුදුරු
    • එළබටු මුල්
    • කටුවැල් බටු

    මේ සියල්ල කළදයි මංචාඩි 20 බැගින් ගෙන වතුර පත 08 එකට සිඳ වරකට පත භාගය බැගින් මී පැණි තේ හැඳි භාගයක් දමා උදේ / සවස පානයට ලබා දෙන්න.

    මේ කසාය වඩි 03 ක් හෝ 04 ක් පමණ ගන්න.

    පණු ඖෂධ සම්බන්ධව ජනගත වී ඇති සමාජ මත වල ඇති වෛද්‍ය පැතිකඩ

    මාස 06 න් 06 ට හෝ නියමිත කාල පරතරයක් අතර පණු බෙහෙත් ලබාදීම වැදගත් ද ?

    එසේ කාල පරතරයක් තබා පණු බෙහෙත් දීම අවශ්‍ය වන්නේ නැහැ. රෝග ලක්ෂණ පහළ වුවහොත් පමණක් ලබාදීම ප්‍රමාණවත්. නමුත් මාස 06 කට වරක් ලබා දීම ගැටලුවක් ද නැහැ.

    පණු ප්‍රතිකාර ලබා ගත් විට ස්නානය සුදුසු ද ?
    මෙය මිත්‍යා මතයක්. පණු ප්‍රතිකාර ලබාගත් විට අනිවාර්යයෙන්ම ස්නානය හෝ සිරුර සේදීම වැනි දේ කළ යුතුයි. ඉතාමත් පිරිසිදුව සිටිම වැදගත්.

    පණු ප්‍රතිකාර ලබාගත් විට තෙල් / ඇඹුල් ආහාර / පාන සුදුසු ද ?
    මෙහි විද්‍යාත්මක සත්‍යතාවයක් නැහැ. බොහෝ කලකට පෙර භාවිත කළ සමහර පණු බෙහෙත් වලට තෙල් / ඇඹුල් ආහාර / පාන ලබා ගැනිමේ ගැටලු ඇති වුව ද නවීන ඖෂධ වලට එවැනි ගැටලු ඇති නොවේ.

    පණු රෝගය නිට්ටාවට සුව කළ හැකි ද ?
    දරුවන් පරිසරය සමඟ සිටින විට පණු රෝග පහසුවෙන් වැළදෙනවා. මේ නිසා සම්පුර්ණ සුව කිරීම හෝ වඳ කිරීම කරන්න බැහැ. නිසි ප්‍රතිකාර හා යහපත් නිවැරදි සෞඛ්‍ය වත්පිළිවෙත් අනුගමනය වැදගත්.

    පණු රෝග වලින් දරුවා වළකා ගැනීමට හොඳ සෞඛ්‍ය පුරුදු පුංචි කාලය සිටම හුරු කළ යුතුයි.
    මවක් වු ඔබ ආහාර පාන පිළියෙල කිරීමට පෙර ආහාර ගැනීමට පෙර සබන් ගා අත සෝදා ගැනීම කළ යුතුයි.
    දරුවා සෙල්ලම් කරද්දී අත් කටේ දමා නොගැනීම වගේම මුහුණ අත පත නොගැනීමට උපදෙස් ලබා දිය යුතුයි.
    වැසිකිලි නිසි අයුරින් භාවිතයට හුරු කරවීම වගේම අත් පා සබන් යොදා සේදීමට හුරු කළ යුතුයි.
    අත් / පා නිය කෙටි වන සේ කපා පිරිසිදුව තබාගැනීම.
    පෞද්ගලික පවිත්‍රතාවය රැක ගැනීම පුරුදු පුහුණු කළ යුතුයි.

    පණු රෝග යනු දරුවන්ට ඉතාමත් සුලබව වැළදෙන රෝගයක් නිසා සුළු කොට තැකීම නොකළ යුතුය. ඒ තුළින් දරුවාට ඉතා අපහසුතා වලට වගේම පෝෂණිය අඩුලුහුඩුතා ඇති කිරීමටත් හේතුවීමට පුළුවන්.

    ඒ නිසාම ඔබේ පුංචි දරු සිඟිත්තාට නිරෝගී සෞඛ්‍යමත් දිවිපෙවෙතක් ළඟා කරදීම ඔබ සතු වගකීමකි.

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.