fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"වැරදි අඩුපාඩු හදාගෙන අපි ගොඩයමු" (📹)

    “වැරදි අඩුපාඩු හදාගෙන අපි ගොඩයමු” (📹)

    2024 වසර යනු අප රටේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය වන වසරක් බව විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    බංකොලොත් රටක ලක්ෂ 220ක් අනාථ වී සිටින මොහොතක ගොඩ ආ යුත්තේ වැරදි අඩුපාඩු නිවැරදි කර ගෙන බව හෙතෙම අවධාරණය කරයි.

    රට බංකොලොත් කිරිමට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන එනවා සේම රටෙන් මංකොල්ල කෑ අරමුදල් නැවතත් අප රටට ලබාගෙන එම මුදල් අධ්‍යාපනය හා සෞඛ්‍ය ශක්තිමත් කිරීමට ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් හරහා ජනතා සුබ සිද්ධියට යොදා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 150 වැනි අදියර යටතේ අද පුත්තලම ආණමඩුව කරුවලගස්වැව සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

    එම කාර්යයෙන් පමණක් රටක් දියුණු කළ නොහැකි නිසා යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමවේදය වෙනුවට නවීන නූතන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත් ජාත්‍යන්තරයේ රටක් ලෙස තරග කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ලෝකයක් සමඟ කරන ගනුදෙනු අප රටට අගයක් එකතු වීම මෙන්ම අගයක් වැඩි වන ආකාරයට කටයුතු කළ යුතු බවත් ඒ සදහා උගත් බුද්ධිමත් දක්ෂ ප්‍රබුද්ධ දරු පරපුරක්, තරුණ හා පුරවැසි පරපුරක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

    එසේම රටේ මේ වන විට පවතින අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක් ලබා දෙන බවත් එහි දී ජාතින ඉඩම් පරිහරණ සැලසුමක් ඉදිරිපත් කර ක්‍රියාත්මක කරන බවත් එවැනි සැලසුමක් නොමැතිව මෙම ගැටලුව විසඳිය නොහැකි බවත් එමඟින් අවිධිමත් සංවර්ධන රටාවට නිවැරදි මගපෙන්වීමක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

    සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 150 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1531ක් වැය කර තිබේ.

    එම අවස්ථාව සහ එහිදී විපක්ෂනායකවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.