fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලී අනුපාත යළිත් අඩුකරයි -නියාමන තීන්දු 2ක් ඉවතට

    පොලී අනුපාත යළිත් අඩුකරයි -නියාමන තීන්දු 2ක් ඉවතට

    වෙළෙඳපොළ පොලී අනුපාත අඩුකිරීමට සහ ඊට අදාළ නියාමන ක්‍රියාමාර්ග 2ක් අහෝසි කිරීමට මහබැංකුව තීරණය කර තිබේ.

    ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.50%ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.50% දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට තීරණය කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පසුගියදා (25) පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

    එමෙන්ම, 2023 අගෝස්තු මාසයේදී ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ග 2ක් ද අහෝසි කර තිබේ.

    ඒ යටතේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමේ ක්‍රියාමාර්ගය අහෝසි කෙරේ. ඉන් අදහස් වන්නේ වෙළෙඳපොළ ප්‍රතිපත්ති පොලී අනුපාත නියාමන ක්‍රියාමාර්ග හරහා අඩු කළ ප්‍රමාණයට වඩා අඩු විය යුතු බව යැයි ද මහබැංකුව අවධාරණය කරයි. මෙම තීරණයට හේතුවී ඇත්තේ එලෙස නියාමනය කරන ලද ප්‍රතිපත්ති පොලී අනුපාතවලට වඩා පවතින අනුපාත අඩුවීම හේතුවෙන් තවදුරටත් නියාමනයේ අවශ්‍යතාවක් නොමැති වීම නිසා බව මහබැංකුව පෙන්වා දෙයි.

    එමෙන්ම වාණිජ බැංකු සඳහා නිත්‍ය පහසුකම් සඳහා පැවති සීමාවන් ලබන 01 වැනිදා සිට ඉවත් කරන බව ද මහබැංකුව අද නිවේදනය කළේය. 2023 ජනවාරියේ දී පනවනු ලැබූ 2023 අංක 1 දරණ මුදල් නීති පනත් නියෝගයට අනුව පනවන ලද මෙම සීමාවන් පෙබරවාරියේදී ලිහිල් කර තිබුණි. කෙසේවෙතත් ලබන අප්‍රේල් 01 වැනිදා සිට මෙම සීමාව ද ඉවත් කිරීමත් සමඟ ඒ වාසිය හේතුකොටගෙන තවත් පොලී අනුපාති අඩුවනු ඇති බවට මහබැංකුව පැවසීය.

    ආර්ථිකයට අපේක්ෂිත මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව මහබැංකුව කීයයි.

    මෙම තීරණයට එළැඹීමේදී, අඩු මට්ටමක පවතින සමස්ත ඉල්ලුම් තත්ත්ව, උද්ධමනය මත බදු ව්‍යුහයේ මෑත කාලීනව සිදු කළ වෙනස්කම්වල බලපෑම අපේක්ෂිත මට්ටමට වඩා අඩු වීම, මෑතකාලීනව විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් හිතකර නුදුරු කාලීන උද්ධමන ප්‍රවණතා, මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා, විදේශීය අංශයේ අධික පීඩන නොමැති වීම සහ වෙළඳපොළ පොලී අනුපාතිකවල පහළ යෑම අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව යනාදිය පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කර ඇත.

    ඉදිරි කාලයේදී වෙළඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය වීම වේගවත් කරමින් මූල්‍ය ආයතන විසින් වෙළඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික වෙත ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කඩිනමින් හා පූර්ණ ලෙස සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.