fbpx
තවත්
    මුල් පිටුවspecialශ්‍රීලංකන් ගුවන්යානා ඇණියට නව ගුවන් යානයක්

    ශ්‍රීලංකන් ගුවන්යානා ඇණියට නව ගුවන් යානයක්

    ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම සිය ගුවන් යානා ඇණියට Airbus A320-200 ගුවන් යානයක් අලුතින් එක්කර තිබේ.

    ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ගුවන් සමාගමේ පටු බඳ ගුවන්යානා ඇණියට මෙම යානය එක් කරගැනීම මගින් කෙටි දුර ගුවන් මෙහෙයුම් ඉහළ නැංවීමට සමාගම අපේක්ෂා කරයි.

    4R-ABS ලියාපදිංචිය සහිත මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ (Business Class) ආසන 12 ක් සහ පිරිමැසුම්දායක පන්තියේ (Economy Class) ආසන 138 කින් සමන්විත ය.

    නව ගුවන් යානය මෙහෙයුම් ඇරඹීමත් සමඟ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ගුවන් මගීන්ට ඉහළ ගුවන් ගමන් අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව හිමිවනු ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ ලීසිං පදනම මත ලබාගත් මෙම ගුවන් යානය සමඟ ගුවන් සේවය සතු මුළු ගුවන් යානා ගණන 22 දක්වා ඉහළ නංවා ඇත.

    වසර හයක කාලයක් සඳහා ලබාගත් මෙම ගුවන් යානය අද (21) සවස මැලේසියාවේ සිට කොළඹට පැමිණි අතර කඩිනමින් මෙහෙයුම් සඳහා එක් කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව එහි මංගල ගුවන් ගමන 2023 දෙසැම්බර් 29 වන දින කටුනායක සිට මාලදිවයිනට දක්වා පියාසර කිරීමට නියමිතයි.

    මෙම යානය Sharklet wingtips තාක්ෂණයෙන් යුත් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත ය.

    මෙමගින් ඉන්දියානු උපමහාද්වීපයේ, ඈත පෙරදිග සහ මැදපෙරදිග කෙටි දුර ගුවන් මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සේවය සතුව මේවන විට පටු බඳ සහිත ගුවන් යානා 12ක් සහ පුළුල් බඳ සහිත ගුවන් යානා 10ක් ඇත.

    ගෝලීය වෙළඳපොළේ පවතින ගුවන් යානා සහ එන්ජින් හිඟය මෙන්ම සැපයුම් ජාල අඩාලවීම හේතුවෙන් නඩත්තු කාලය දීර්ඝ වීමත් නිසා මෙම වසර ශ්‍රීලංකන් ගුවන් සේවයට මෙන්ම සමස්ත ගුවන් සේවා කර්මාන්තයටම අභියෝගාත්මක විය.

    2024 ජනවාරි මස ආරම්භය වන විට, wet-leasing පහසුකම යටතේ Airbus A330 වර්ගයේ ගුවන් යානයක් සහ තවත් එන්ජින් 2 ක් පැමිණීමත් සමඟ ගුවන් යානා 3 ක් එක්වීමට නියමිත ය.

    මාර්තු මාසයේ දී තවත් ගුවන් යානයක් ලබා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම සැලසුම් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.