fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලී අනුපාත ගැන මහබැංකුවේ අලුත්ම තීරණය (🎥)

    පොලී අනුපාත ගැන මහබැංකුවේ අලුත්ම තීරණය (🎥)

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 12% ලෙසම පවතින මට්ටමින් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

    ඒ මහබැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ(23) දින පැවති රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.

    2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ මුදල් තත්ත්වයන් සැලකිය යුතු ලෙස ලිහිල් කිරීම සහ දේශීය මෙන්ම ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

    මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඩු වීම සහ වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් වේගයෙන් අඩු වීම සඳහා අවකාශය ලබා දීමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලදී.

    කෙසේ වෙතත්, ඇතැම් ණය උපකරණ සඳහා අදාළ වෙළඳපොළ පොලී අනුපාතික වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූල නොවන ලෙස අධික ලෙස ඉහළ මට්ටමක පවතින බව මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළේය.

    තවද, මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සමස්ත වෙළඳපොළ ණය පොලී අනුපාතිකවල වේගවත් අඩුවීමක් සිදු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි.

    ඒ අනුව, අධික ලෙස ඉහළ මට්ටමක පවතින ඇතැම් ණය පොලී අනුපාතික අඩු කිරීම සඳහා ඉලක්කගත නියාමන ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරි කාලය තුළදී සමස්ත රුපියල් ණය පොලී අනුපාතික සුදුසු ප්‍රමාණයකින් අඩු කිරීමට බලපත්‍රලාභී බැංකු යොමු කිරීමටත් මුදල් මණ්ඩලය තීරණය කළේය.

    ඒ අනුව, උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18% ක පොලී අනුපාත සීමා පැනවීමට මණ්ඩලය තීරණය කළේය.

    කලින් ගිවිසගන්නා ලද තාවකාලික අයිරා මත වසරකට 23%ක් ලෙස ද සියලුම බලපත්‍රලාභී බැංකු සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් මත වාර්ෂිකව 28% බැගින් ද පොලී අනුපාත ක්‍රියාත්මක විය යුතු බව මහබැංකුව පෙන්වා දෙයි.

    තවද, දණ්ඩ පොලී අනුපාත අදාළ ණය පහසුකම සඳහා අයකරනු ලබන නිත්‍ය පොලී අනුපාතවලට වඩා 2% ක සීමාවක් පැනවිය යුතු බව මණ්ඩලයේ අදහස විය.

    මෙම නියාමනය කරන ලද පොලී අනුපාත බලාත්මක කිරීම සඳහා උපදෙස් ඉක්මනින් නිකුත් කරනු ඇත.

    සමස්ත ණය පොලී අනුපාත ව්‍යුහය ඉදිරි කාලය තුළ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව පවතින බව සහතික කිරීම සඳහා මෙම උපදෙස් වැඩිදුර සමාලෝචනයට යටත් වනු ඇත.

     

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.