fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උගන්ඩා පාසලේ ප්‍රහාරය කළේ ISIS සම්බන්ධ කැරලිකරුවන් -මියගිය අය ඉහළට

    උගන්ඩා පාසලේ ප්‍රහාරය කළේ ISIS සම්බන්ධ කැරලිකරුවන් -මියගිය අය ඉහළට

    බටහිර උගන්ඩාවේ පාසලකට ප්‍රහාරයක් එල්ල කළ කොට සිසුන් ඇතුළු 41 දෙනකුට පමණ මරු කැඳවූ සන්නද්ධ කැරලිකරුවන් ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්ත සංවිධානයට (ISIS) සම්බන්ධයක් පවතින බවට අනාවරණය වී තිබේ.

    විදෙස් වාර්තා පවසන්නේ මෙම ප්‍රහාරයෙන් මිය ගිය අයගෙන් බහුතරය සිසුන් බවයි. එමෙන්ම තවත් හය දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව උගන්ඩාවේ බලධාරීහු පවසා ඇත.

    ඇතැමුන් කඩුවලින් කපා කොටා ඝාතනය කර ඇති අතර තවත් පිරිසක් ඔවුන්ගේ නේවාසිකාගාරවලට ගිනි තැබීමෙන් මිය ගොස් ඇති බව හමුදා ප්‍රකාශක ෆීලික්ස් කුලෙයිග්යේ ප්‍රකාශ කර තිබේ.

    උගන්ඩා හමුදාව පවසන්නේ, ISIS හා සම්බන්ධ මිත්‍ර ප්‍රජාතන්ත්‍රවාදී හමුදා (ADF) කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයින් 20 ක් පමණ සිකුරාදා ලුබිරීහා ද්විතීයික පාසලට ප්‍රහාර එල්ල කළ බවයි.

    මෙම පාසල උගන්ඩා-කොංගෝ දේශ සීමාවේ කසේසේ නගරයේ පිහිටා ඇත.

    වයස අවුරුදු 13 ත් 18 ත් අතර ළමුන් එහි අධ්‍යාපනය ලබයි.

    මියගිය අයගෙන් 39 ක් සිසුන් වන අතර දෙදෙනෙක් ගම්වැසියන් බව ප්‍රාදේශීය බලධාරීන් තහවුරු කර ඇත.

    සෙනසුරාදා උදෑසන වන විටත් ගින්න නිවා දැමීමට බලධාරීන් උත්සාහ කරමින් සිටියේය.

    තවත් මළ සිරුරු සොයා ගැනීමට හැකිවනු ඇතැයි හමුදාව සැක කරන නමුත් පාසලේ සිරවී සිටින කිසිවකු මේ වනවිට ජීවතුන් අතර නොමැති බව ද එරට වාර්තා පවසයි.

    ප්‍රහාරය සිදුවන විට පාසලේ 62 දෙනෙකු සිට ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.