fbpx
තවත්
    මුල් පිටුවspecialපිටකොටුවේ නාටාමිවරුන්ගේ ජීවන අරගලය

    පිටකොටුවේ නාටාමිවරුන්ගේ ජීවන අරගලය

    කොළඹ තොග වෙළඳාමේ කේන්ද්‍රීය ශ්‍රම සම්පතක් වශයෙන් නාටාමි කම්කරුවන් හැදින්විය හැකියි. කොටුව සහ පිටකොටුව තොග වෙළදාම ආශ්‍රිතව දෛනිකව සේවය කරන නාටාමි කම්කරුවන් ප්‍රමාණය 1500කට ආසන්නය.
    දිවයින පුරා බෙදා හැරෙන තොග භාණ්ඩ කන්ටේනර්වලට පැටවීම ප්‍රවාහනය ආදිය දිවා රාත්‍රී දෙකෙහිදීම මොවුන් විසින් සිදුකරති.

    නමුත් පවතින ආර්ථික අර්බුදය හමුවේ තමන්ට ලැබෙන සුළු මුදලින් ජීවිකාව පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් අද උදාවී ඇතැයි ඔවුහු මැසිවිලි නඟති. භාණ්ඩ මිල ඉහළ ගියත් තමන්ට දෛනිකව ලැබෙන කුළී ආදායම ඉහළ නොයාම නිසා ජීවත්වීම අර්බුදයක් බවට පත්ව ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

    මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කොළොන්නාව, ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය වැනි ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභීන් වන මොවුන් අලුයට සිට මධ්‍යම රාත්‍රිය දක්වා කුළී පදනම මත කයි කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහනය සිදුකරති.

    ඔවුන්ට ගෙවීම් ලැබෙනුයේ ප්‍රවාහනය කරන කෑලි ගාණටය. ව්‍යාපාරික ස්ථානවල භාණ්ඩ තවත් ව්‍යාපාරික ස්ථානයකට හෝ ලොරියක් කරා ප්‍රවාහන කිරීම මොවුන්ගේ ප්‍රධාන රාජකාරිය වන අතර දුර හා ගෝනිවල බර අනුව කරන ගෙවීම් වෙන්ස් වේ. එක් කොටසකට රුපියල් 15 සිට 30 දක්වා ගෙවීම් හිමිවන බව කම්කරුවන් කියයි.

    “මගේ නිවසේ පාසල් වයසේ දරුවන් පස් දෙනෙක් ඉන්නවා. ඔවුන්ට කන්න බොන්න වගේම පාසල් යන්න වියදම් කරන්නේ මම මේ උපයන මුදලින්. ඒ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නෑ” යැයි තොටළග පදිංචි මනිවේල් ඇලෙක්සැන්ඩර් මහතා පවසයි.

    මනිවේල් ඇලෙක්සැන්ඩර් මහතා,
    “අපිට මේ කරත්තවල අයිතියක් නෑ. උදේට ඇවිල්ලා අපි කරත්තයක් මුදල් ගෙවා කුළියට ලබා ගන්න ඕනී. ඒකට දවසකට රුපියල් 300ක් ගෙවන්න ඕනි. කරත්තය ගත්තා කියලා වැඩ ලැබෙන්නේ නෑ. අපි දන්න හදුනන තොග කඩවල් කරා ගිහින් වැඩ ඉල්ලන්න ඕනී. අපි හොදින් වැඩ කළොත් තමයි තවත් වැඩ දෙන්නේ. මේ රස්සාව අවදානම්. අනික ගොඩක් මහන්සි වෙන්න ඕනී. අපිට කොච්චර මහන්සි වුණත් දවසකට රුපියල් තුන්දහසකට වඩා උපයනන් බෑ.”

    මොහොමඩ් නයිසර් (මට්ටක්කුලිය),
    “මම මේ කරත්තය අවුරුදු 30ක කාලයක සිට අදිනවා. මම පොඩි කාලේදීම තමයි මේ රස්සාවට ආවේ. කැමැත්තෙන් ආවා නෙමෙයි, වෙන කරන්න දෙයක් නැති නිසයි මේකට යොමුවුණේ. මේ රැකියාව ගොඩක් දුෂ්කරයි. ඉක්මණින් භාණ්ඩ ප්‍රවාහනය කරන්න ඕනී. මුකුත් නැති කර ගන්න බෑ. නැතිවෙන දේවල්වලට අපි වගකියන්න ඕනී. අපිට දැන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නෑ. ජීවන වියදම ඉහළ ගියත් අපිට ලැබෙන ආදායම ඉහළ ගියේ නෑ. අද තරුණයන් කවුරුත් මේ රැකියාවට එන්නේ නෑ. ඉන්න බොහෝ දෙනෙක් අවුරුදු 50න් ඉහළ අය. වෙන කරන්න දෙයක් නැති නිසයි ඔවුන් මෙම කුළී රැකියවට එන්නේ.”

    ජෝන් ඇලෙක්සැන්ඩර් (වත්තල),
    “අපිට දවසකට රුපියල් 1500 – 2000ක් පමණයි උපයන්න පුළුවන්. කොතරම් වැඩ කළත් ඊට වඩා උපයන්න බෑ. අපි භාණ්ඩ ප්‍රවහනය කළ පසු ලොරි රථ වලින් රුපියල් සියයක් දෙසීයක් පමණ දෙනවා සන්තෝෂවට තියා ගන්න කියලා. ඒකත් අපිට ලොකු දෙයක්. අදි භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා. අපි ඉන්නේ කුළී නිවාසවල. ලයිට් බිල්, වතුර බිල් ගෙව්වාම කන්න අදින්නවත් මුදලක් ඉතිරි කර ගන්න විදියක් නෑ”

    දිවයිනටම බලපා ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් කුළී ආදයම් ලබන වැඩි පිරිසක් සිය උපන් ගම් අත හැර අගනුවරට සේන්දු වන්නේ වැඩි ආදායමක් උපයා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ අයුරින් කොළඹට පැමිණි ඔවුන් මේසන් වැඩ, ඇගලුම් කම්හල්, විවිධ කුළී රැකියා කරා යොමු වන අතර මෙැනිට නාටාමි කම්කරු වෘත්තියට යොම වූ පිරිස් ද ඒ අතර සිටිති. මහනුවර, නුවරඑළිය, හැටන්, බගවන්තලාව, නාවපිටිය වැනි ප්‍රදේශවලින් කොළඹට පැමිණ ඔවුන් කුළී රැකියාවේ නිරත වෙති. කොළඹ බෝඩිමක නවාතැන් ගන්නා ඔවුන් අලුයම සිට මහ රෑ වන තුරු කරත්තයෙන් භාණ්ඩ ප්‍රවාහනය කොට මුදල් උපයති. උපයන්නේ සොච්චම් මුලක් වුවත් එය කුඩුකාරයන්ගෙන් පවා රැක ගත යුතුව ඇතැයි ද ඔවුන් මැසිවිලි නගති.

    මදිවානන් විජේ (නාවලපිටිය) –
    අපි නම් බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මම පදිංචි නාවලපිටියේ. මේ දවස්වල වැඩත් අඩුයි. මිනිස්සුන්ගේ අතෙත් සල්ලී නෑ. මෙතන තරගයක් තියෙන්නේ. අපි 1500ක් 2000කට කිට්ටු වෙන්න ප්‍රමාණයක් ඉන්නවා. අපි දවසකට රුපියල් 1500ක් 2000ක් තමයි හොයන්නේ. ඒකෙන් කන්න බොන්න ගියොත් රුපියල් 750යි 800යි ඉතිරි වෙන්නේ. මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. එයාලාට කන්න බොන්න දෙන්න ඕනී, ඉස්කෝලෙට වියදම, බස් වියදම ඔක්කෝම බලන්න ඕනී. එහෙම කළාම මේ ලැබෙන ආදායම කොහොමවත් ප්‍රමාණවත් නෑ.

    ශිවරාජ් පෙරුමාල් (බදුල්ල) –
    මේ රස්සාවෙන් ජීවත් වෙන්න හරිම අමාරුයි. මීට වඩා හොදයි පාරේ හිඟා කනවා පාරේ. මට දරුවෝ ඉන්නවා 04 දෙනෙක්. දවසකට කීයක් හොයන්නද? එහෙන් රස්නෙයි. දාඩිය දාලා පිච්චෙන කොට සල්ලී එනවාද කියන්නකෝ? සල්ලි තියා මුකුත් නෑ නේ? වෙන කරන්න දෙයක් නැති නිසා මේ රස්සාව කරනවා. ගමට ගියත් ගමේ රැකියා නැහැ. ඒ නිසයි කොළඹ ඇවිල්ලා කුළී වැඩ කරන්නේ.

    රවී චන්ද්‍රන් (ගිනිගත්හේන) –
    “අද බඩු මිල වැඩියි. දවසන් දවස මිල වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ අතේ සල්ලී නෑ. ඔවුන්ගේ අතේ සල්ලි තිබුණොත් තමයි පිටකොටුවේ තොග වෙළදාම සිදුවෙන්නේ. අපිට ආදායමක් ලැබෙන්නේත් මිනිසුන්ගේ අතේ සල්ලි තිබුණොත් විතරයි. සමහර දවස්වලට අපි හම්බකරන්නේ රුපියල් 500ක් 600ක් විතර. ළමයි හතරදෙනෙක් ඇතුලුව පවුලේ හය දෙනෙක් ඉන්නවා. ඒ අය ජීවත් වෙන්නේ කොළඹ ඉදලා මම යවන මුදලින්. කොළඹ නතර වෙලා මම අවුරුදු ගාණක් මේ රැකියාව කරනවා. වෙන කරන්න දෙයක් නෑ. තවත් කාලයක් මම මේ රැකියාව කරලා වැඩ කරන්න බැරි කාලෙක ගමට යනවා. ඒ වෙද්දී දරුවෝ ලොකු වෙලා හිදීවී.”

    එක්දහස් පන්සියයක් පමණ වන නාටිමි කම්කරුවන්ට කුළී කරත්තයක හිමිකමක් නොමැති අතර ඔවුන් දිනපතා එම කරත්ත දෛනික කුළී පදනම මත ලබා ගනී. ඒ සඳහා දිනකට රුපියල් 100 සිට 300 දක්වා මුදලක් ගෙවීමට ඔවුන්ට සිදුවේ.

    පිටකොටුවේ කයි කරත්ත කුළීයට ලබා දෙන කේ.සෙල්වම් මහතා පවසන්නේ තම පියාගෙන් උරම වූ මෙම ව්‍යාපරය වසර 60 පමණ කාලයක සිට පවත්වාගෙන යන බවයි. දිනකට රුපියල් 150ක කුළී මුදලක් තමන් ලබා ගන්නා අතර සියලු කරත්ත නිපදවීම හා නඩත්තු කිරීම තමන් විසින් සිදුකරන බව ඔහු කියයි.

    නාටාමි කම්කරුවන්ගෙන් වැඩි පිරිසක් කරත්ත කුළී පදනම මත ලබා ගන්නේ තමන්ගෙන යැයි කී කේ. සෙල්වම් මහතා කම්කරුවන්ගේ කුලී මුදල ඉහළ නැංවීම පිළිබදව කිසිදු අවධානයක් මේ දක්වා යොමු වී නැතැයි ද කීවේය. එමෙන්ම එම මුදල ඉහළ නංවන ලෙසට කම්කරුවන්ගේ ද ඉල්ලීම් ඉදිරිපත් නොවන බව ද ඔහු සඳහන් කළේය.

    කොළඹ තොග වෙළදාමට නැතිවම බැරි මෙම කම්කරුවන් නගරයේ අස්සක් මුල්ලක් නෑර භාණ්ඩ ප්‍රවාහන කළත් ඔවුන්ගේ ජීවිත හා වෘත්තිය අද වන විට ආර්ථික අර්බුදය හමුවේ අවදානම් තත්ත්වයට පත්ව තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.