fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ඕනම ආගමක් නවීන ලෝකය සමඟ අනුගත වියයුතුයි" - ජනපති

    “ඕනම ආගමක් නවීන ලෝකය සමඟ අනුගත වියයුතුයි” – ජනපති

    ඕනෑම ආගමක් නවීන ලෝකය සමඟ අනුගත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කිසිඳු ආගමක් වෛරී ආගමක් නොවන බව ද හෙතෙම සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලවේ දී අද (19) පැවති සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ 100 වන සංවත්සරය අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

    “..එදා තිබු ඇතැම් ප්‍රශ්නවලට අදත් ඔබ මුහුණ දෙනවා. පළමුව, අප සිටින්නේ 1922 දී නොසිටී ජාතීන් 150ක් පමණ සිටින වෙනස්ම ලෝකයකයි. එමෙන්ම අප එළැඹ සිටින්නේ විද්‍යාව හා තාක්‍ෂණයේ දියුණුව මෙන්ම දේශපාලන අයිතිවාසිකම් සංවර්ධනය සමඟම ඇති වූ වෙනස්ම සියවසකටයි. අපට ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අනාගතය දෙස බැලීමට සිදුව ඇත්තේ මේ පසුබිම තුළයි. පළමුව ඉස්ලාම් ආගම පමණක් නොවෙයි, සියලුම ආගම් බලන්නේ ආගමේ හරය කුමක්ද යන්නයි. ආගමේ නිර්මල අරුත කුමක්ද සහ අප නූතන ලෝකය සමඟ සම්බන්ධ වන්නේ කෙසේද කියලයි. ආගමේ හරය අතීතයට, වර්තමානයට සහ අනාගතයට සරිලන අයුරින් තිබිය යුතුයි. හොඳ උදාහරණයක් තමයි බුදුදහම. බුදු රජාණන් වහන්සේ ගංගා ඉවුරුවල දේශනා කරන විට ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, එහි එක් පදනමක් වන බුදුදහම සහිත ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් ගොඩනැගීමට අපට හැකි වුණා. ගෞතම බුදුරදුන්ගේ කාලයේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරය නොතිබුණත් අප එය පිළිගෙන ඊට අනුගත වුණා.

    ඒ හා සමානව, අප සියල්ලන්ම වර්තමානයේ ජීවත් වෙමින් අනාගතය දෙස බැලිය යුතුයි. අපේ ආගමේ හරය කුමක්දැයි සොයා බැලීමට අතීතය ප්‍රයෝජනවත් වෙනවා. එනමුත් කිසිම ආගමක් වෛරී ආගමක් නොවිය යුතුයි. එය අනුකම්පා සහගත විය යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම ඉස්ලාම් ආගම හෝ ක්‍රිස්තියානි හෝ වේවා ආගම් කිසිම ආකාරයකින් වෛරී විය නොහැකියි…

    හැම ආගමකම, හින්දු ආගමේ වේවා, බුද්ධාගමේ වේවා ප්‍රශ්න මතුව තිබෙනවා. අපි සාකච්ඡා කරන්නේ ඒ මොකක්ද කියලා. එබැවින් අපි සියල්ලෝම මෙම ගැටලුවට මුහුණදී සිටිනවා. නමුත් අපි අපගේ මූලික මූලධර්මවලින් ඉවත් නොවිය යුතුයි. ඒ නිසා අපි ඉස්ලාම් ආගමේ මෙන්ම බුද්ධාගමේ, හින්දු, ක්‍රිස්තියානි ආගම්වලත් අපේ ආගමේ හරය සෙවීමේදී එම ප්‍රතිපත්තිවලට ගරු කළ යුතුයි. එවගේම අද අපිට දැනෙනවා ආගම වාණිජකරණය වෙලා කියලා. ඔව් ඇතැම් විට ආගම පාවිච්චි කරලා තියෙන්නේ යුද්දෙට සහ වෛරයටයි.එයින් අදහස් කරන්නේ ආපසු අතීතයට ගොස් යුද්ධ ආරම්භ කරන්න කියා නෙවෙයි. දෙවනුව ආගම ඊටම අනුගතවී නූතනත්වයට මග පෙන්විය යුතුයි. ඉස්ලාමීය සෞදි අරාබියට හෝ නබිතුමාගේ උපත සිදුවූ කාලයට ආපසු යා යුතු යැයි කියන අයට, බැග්ඩෑඩ් අගනුවර වූ ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ගැන මොකද කියන්නේ තියෙන්නේ කියල මම අහනවා.

    ඒ වගේම දැන් පවා ඔබට පෙනෙනවා වෙනස්කම් නිසා ලෝකයේ සියලුම රටවල ඇතිවී ඇති ගැටුම් පිළිබඳව. අපි දැන් බටහිර ශිෂ්ටාචාරය පිළිගෙන ඉවරයි. හොඳම උදාහරණය නම්, බ්‍රිතාන්‍යයේ අගමැතිවරයෙකු ලෙස හින්දු ජාතිකයෙකු පත් වීම සහ ලන්ඩනයේ නගරාධිපතිධුරයට මුස්ලිම් ජාතිකයෙකු පත්වීම පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන් නියෝජනය කරන්නේ බටහිර සංස්කෘතීන් මිස හින්දු හෝ මුස්ලිම් සංස්කෘතීන් නොවේ. ඉතින් මේවා තමයි නූතනත්වය පිළිබඳ අද අපට පෙනෙන්න තිබෙන හොඳම උදාහරණ….

    මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) යනු ප්‍රධාන ප්‍රශ්නවලින් එකක්. ඒකට මම මැදිහත් වෙන්න යන්නේ නැහැ. ඒක මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රශ්නයක්. නමුත් මම එකක් කියනවා, ආපස්සට යන්න එපා. මුස්ලිම්වරුන්ට අහිතකර කිසිම ක්‍රියාවක යෙදෙන්න එපා. පහුගිය දවසක මම දැක්කා සමහර මුස්ලිම් ළමයි මේ වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා. එය ඇත්ත වශයෙන්ම දරුවන්ගේ රැකවරණය පිළිබඳ නීතිය උල්ලංඝනය කිරීමක්. වැඩිහිටියන්ට අවශ්‍ය නම් එය කළාට කමක් නැහැ. එහෙත් දරුවන්ව ඉන් ඈත් කර තබන්න. ඒක ඇත්තටම මුස්ලිම් අය පිළිබඳව සෘණාත්මක තක්සේරුවක් ඇති කරන්නක් නිසා, ඒකට ඉඩ දෙන්න එපා. මට කියන්න තියෙන්නේ එච්චරයි.

    දැන් ඔබ ඔබේ සියවන වසර සම්පූර්ණ කර තිබෙනවා. අපි අපේ නිදහසේ 75 වන වසරට මුහුණ දෙන්නේ. මේ කාලයෙන් වැඩි හරියක් අප ගත කරලා තියෙන්නේ එකිනෙකා සමඟ සටන් කරමිනි. මම හිතන්නේ දැන් සංහිඳියාවට සහ සහජීවනයට කාලයයි.”

    සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සභාපති අෂ්- ෂෙයික් එම්. අයි. එම් රිස්වි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

    සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ 100 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.