fbpx
තවත්
    මුල් පිටුවCOVIDචීනයේ මිලියන 900කට කොරෝනා

    චීනයේ මිලියන 900කට කොරෝනා

    චීනයේ මිලියන 900 ක ජනතාවකට පසුගිය 11 වනදා වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පීකිං විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

    අදාල වාර්තාවට අනුව ඇස්තමේන්තු ගත ආසාදිතයින් සංඛ්‍යාව චීනයේ සමස්ථ ජනගහනයෙන් 64% කි.

    මේ අතර චීනයේ ගන්සූ පළාතේ වෙසෙන ජනතාවගෙන් 91% කටත්, පසුව යුනාන් හී සියයට අසූ හතරකටත් සහ කිංහායි හී සියයට අසූවකටත් වෛරසය වැලදී ඇති බව අදාල විශ්ව විද්‍යාල අධ්‍යනය හෙළි කරයි.

    චීනයේ ප්‍රමුඛ පෙළේ වසංගත රෝග විද්‍යාඥයෙකු ද අනතුරු අඟවා ඇත්තේ චන්ද්‍ර නව වසර තුළ චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල රෝගීන් ඉහළ යනු ඇති බවටයි.

    චීනයේ කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාව මාස දෙක තුනක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව චීන රෝග පාලන මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානී සෙන්ග් ගුවැන්ග් පැවසීය.

    පසුගිය වසර කීපය තුල චීනයේ පැවති දැඩි සංචරණ සීමා වලින් පසුව මිලියන සිය ගණනක් චීන ජාතිකයන් තම ගම්බිම් වෙත ගමන් මෙම වසරේදී ගමන් කිරීමට නියමිත අතර එය තත්ත්වය වර්ධනය කිරීමටද හේතුවක් පවතී.

    තත්ත්වය එසේ පවතින අතරතුරදී චීන රජය විසින් මේවන විට සිය ශූන්‍ය කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රතිපත්තිය අත්හැර දමා ඇති අතරම දිනපතා පළ කළ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවද පළකිරීමට අත්හැර දමා ඇත.

    කෙසේ වතත් චීන නිල දත්ත මගින් පසුගිය මාසය තුළ දිනකට මරණ පහක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් පෙන්නුම් කරයි. නිල දත්ත එවැනි අඩු මරණ සංඛ්‍යාකවක් පෙන්නුම් කළද අවමංගල්‍ය නිවෙස්වල දක්නට ලැබෙන දිගු පෝලිම් සහ සමාජ මාධ්‍යවල මරණ පිළිබඳ වාර්තා එකි නෙකට නොගැලපෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

    මේ අතර දෙසැම්බරයේ චීන නිලධාරීන් කියා සිටියේ රටේ කොවිඩ් තත්ත්වය පිළිබඳ දෛනික යාවත්කාලීන කිරීම්වලට වඩා මාසිකව නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැවසුවේ කොවිඩ් මරණ වාර්තා කිරීම නැවැත්වූ චීනය, කොවිඩ් මරණ දැඩි ලෙස අඩුවෙන් වාර්තා කිරීමක් සිදුකරන බවයි.

    ඊට ප්‍රතිචාර වශයෙන්, විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මාධ්‍ය හමුවකදී නැවතත් අවධාරණය කළේ බීජිං කොවිඩ් දත්ත “නීතියට අනුකූලව කාලෝචිත, විවෘත සහ විනිවිදභාවයෙන් යුතුව” පළකර ඇති බවත්, පසුගිය කාලය පුරා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ තාක්ෂණික හුවමාරු කර ගැනීම්ද සිදුකර ඇති බවත්ය.

    ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් මේ වසරේ චීනයේ කොවිඩ් ආශ්‍රිත මරණ මිලියනයක්වත් පුරෝකථනය කර ඇත. වසංගතය ආරම්භ වූ දා සිට බීජිං නිල වශයෙන් වාර්තා කර ඇත්තේ මරණ 5,000 කට වඩා වැඩි ප්‍රමාණයක් වන අතර එය ලෝකයේ අඩුම මරණ අනුපාතයන්ගෙන් එකකි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.