fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පත්කෙරේ

    නව යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පත්කෙරේ

    ශ්‍රී ලංකාවේ 24 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පත්කිරීමත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්කිරීමටත් අදාළ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී භාරදී තිබේ.

    දැනට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන විකුම් ලියනගේ මහතා හෙට (ජුනි 01) යුද හමුදාපති ධුරයේ වැඩ භාර ගැනීමත් සමග ලුතිතන් ජෙනරාල් නිලයට උසස් කෙරෙනු ඇත.

    මාතලේ, විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ විකුම් ලියනගේ මහතා 1986 ඔක්තෝබර් 27 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් විය. දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යා පීඨයෙන් සහ පකිස්ථාන හමුදා ඇකඩමියෙන් මූලික හමුදා පුහුණුව ලබා ගත් විකුම් ලියනගේ මහතා දෙවන ලුතිතන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට පත් කෙරිණ.

    35වසරක කීර්තිමත් යුද හමුදා දිවිය තුළ 4 වන ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරී, කණ්ඩායම් භාර නිලධාරී අණ දෙන, අණ දෙන නිලධාරී, බලසේනා, සේනාංක, ආරක්ෂක සේනා අණදීමේ තනතුරු ඇතුළු මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ගණනාවක් දරා ඇති විකුම් ලියනගේ මහතා ඇමරිකාව, ඉන්දියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක ආරක්ෂක සහ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා ඇත.

    මානුෂීය මෙහෙයුමේදී 57 සහ 56 සේනාංකවල 8 වන ගජබා රෙජිමේන්තුවේ අණ දෙන නිලධරයා ලෙස කටයුතු කළ ලියනගේ මහතා එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණ රැසක් ලබා දීමට සමත් වූවෙකි. රණවික්‍රම, රණශූර පදක්කම්, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම ඇතුළු පදක්කම් රැසක් හිමි කර ගෙන ඇත.

    මේ අතර වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (ජුනි 01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කෙරේ.

    ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා විසින් අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත භාර දෙනු ලැබිණ.

    යුද හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා අද (31) යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව යාමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.