fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාන්තා ව්‍යාසායකින් වෙනුවෙන් ගමක් ගානේ Home Shop

    කාන්තා ව්‍යාසායකින් වෙනුවෙන් ගමක් ගානේ Home Shop

    කාන්තා ව්‍යවසායකයින් සඳහා කුඩා සුපිරි වෙළෙඳසැල් (Home Shop) ජාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    ග්‍රාමීය පවුල් ඒකකයන්හි ව්‍යවසායකත්වයට කැමැත්තක් දක්වන කාන්තා ව්‍යවසායකයින් හඳුනාගෙන, ව්‍යවසායකත්ව මග පෙන්වීම හා මූලික ප්‍රාග්ධනය සපයා ගැනීම පිණිස සහාය වීම මඟින් “එක් ගමකට එක් කාන්තා ව්‍යවසායකයෙක්” බිහි කිරීමේ අරමුණ ඇතිව, කාන්තා ව්‍යවසායකයින් සඳහා කුඩා සුපිරි වෙළෙඳසැල් (Home Shop) ජාලයක් ස්ථාපිත කිරීමේ වැඩසටහන වෙනුවෙන් 2022 අයවැය මඟින් රුපියල් මිලියන 15,000ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

    අදාළ ව්‍යවසායකයින් හඳුනාගැනීම දිළිඳුකම පිටුදැකීමේ කාර්යසාධක බලකායේ උපදෙස් මත ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ මග පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිදු කරනු ලබයි.

    යෝජිත කුඩා සුපිරි වෙළෙඳසැල සඳහා වර්ග අඩි 200-400ක ඉඩ ප්‍රමාණයක් සිය නිවසේ කොටසක හෝ එම නිවස අලුත්වැඩියා කිරීම මඟින් හෝ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් අලුතින් ඉදිකරවා ගැනීම මඟින් හෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරවා ගැනීම මඟින් හෝ යන එක් ක්‍රමයක් යටතේ සලසා ගැනීමට තෝරා ගනු ලබන ව්‍යවසායිකාවට හැකියාව ලැබෙනු ඇත.

    අදාළ කුඩා සුපිරි වෙළෙඳසැල් පරිගණක ජාලයක් මඟින් සම්බන්ධ කරනු ලබන අතර, එකී වෙළෙඳසැල් සඳහා අවශ්‍ය උපකරණ හා ගෘහ භාණ්ඩ රජය විසින් සපයා දෙනු ඇත. විකිණීම සඳහා පාරිභෝගික භාණ්ඩ සමුපකාර සමිති හරහා කාන්තා ව්‍යවසායකයින් වෙත ලබා දීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබේ.

    විශේෂ නිර්ණායක මත තෝරාගනු ලබන අ‍ඩු ආදායම්ලාභීන් සඳහා ඩිජිටල් කාඩ්පතක් හරහා ලබා දීමට යෝජිත සහන මල්ල වැඩසටහන යටතේ රුපියල් 2,000/-ක දේශීයව නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙම කුඩා සුපිරි වෙළෙඳසැල් වෙතින් සාධාරණ මිලකට මිල දී ගැනීමට අදාළ ප්‍රතිලාභීන්ට හැකියාව ලැබෙනු ඇත.

    ඒ අනුව, යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.