fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්නෝර්වේ හී පැවති ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට ගිය කණ්ඩායම තනිකර කළමනාකරු පළායයි

    නෝර්වේ හී පැවති ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට ගිය කණ්ඩායම තනිකර කළමනාකරු පළායයි

    නෝර්වේ හී පැවති ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගිවීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ උප සභාපතිවරයෙක් වන ඩොනල් ඉන්ද්‍රවංශ එරටදී සිය කණ්ඩායම තනිකර පළාගොස් ඇත.

    පස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම නෝර්වේ පැවැති ලෝක ශූරතා තරගාවලියට සහභාගිවීමට මෙරටින් පිටත්ව යන්නේ ඉකුත් 30 වෙනිදාය. ක්‍රීඩකයන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කිසිවක් නොලැබුණු බවත් අඩුම තරමින් අනුග්‍රාහකයෙක්වත් සොයා නොදුන් බවටත් එදින ගුවන් තොටුපොලේදී මල්ලවපොර සංගමයේ සභාපති සරත් හේවාවිතාරණ ක්‍රීඩා බලධාරීන්ට දොස් නැගුවේය.

    මෙම තරගාවලියට ක්‍රීඩකයන් සහභාගිවූයේ තරග සංවිධායකයන්ට ඒ සදහා ඇතුලත්වීමේ ගාස්තුවක් ගෙවමිනි. එම මුදල් ගෙවීමට බැංකුවලින් ඩොලර් නිකුත් නොකරන බවට මැසිවිලිද ඔවුන් මුලදී නැගුවේය. පසුව ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් වෙමින් එම ගැටළුවද නිරාකරණය දී තීබුණි.

    මෙම ගමනට ඇතැම් ක්‍රීඩකයන් අනුග්‍රාහකයින් සොයා ගත් අතර වත් ක්‍රීඩකයින් අතින් වියදම්කරගෙන නෝර්වේ බලා පිටත්ව ගියේය. මල්ලවපොර සංගම් සභාපතිවරයා එම ගමන ගැන සදහන් කරනු ලැබුවේ ජයග්‍රානයකට වඩා අත්දැකීමක් ලබා ගැනීමට ක්‍රීඩකයින් මෙම ගමන යන බවත් එළඹෙන ආසියාතික ක්‍රීඩා උළෙල සිය ඉලක්කය බවත් ඔහු පෙන්වා දුන්නේය.

    එවන් බලා පොරොත්තුවක් ඇතිව නෝර්වේ බලා ගිය කණ්ඩායමට ක්‍රීඩාවෙන් පමණක් නොව, කළමනාකරු ඔවුන්ගේ මුදල්ද රැගෙන පළායාමෙන්ද අත්දැකීම් ලැබුවේය. ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර එරටදී සිදුකළ යුතු පී.සී.ආර්. පරීක්ෂණ සදහා වැය කළ යුතු මුදල්ද ඔහු රැගෙන ගොස් තිබුණු බැවින් ක්‍රීඩකයන් මහත් අපහසුතාවකට පත්විය. දින කිහිපයක් අසරණව ඔවුන්ට එරට රැදී සිටින්නට සිදුවීමෙන් වීසා කාලයද අවසන්වී තිබුණු බැවින් පිහිට පතා තිබුණේ නෝර්වේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙනි. තානාපති කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය විසින් අදාල මුදල් එරටට යොසු කිරීමෙන් අනතුරුව ඊයේ මල්ලවපොර ක්‍රීඩකයින් මෙරටට පැමිණියේය.

    පළාගිය කළමනාකරු ගම්පහ පදිංචිකරුවෙක් වන අතර ඔහු මල්ලවපොර සංගමයේ උප සභාපතිවරයා ලෙස පත්වන්නේ ඉකුත් ජනවාරියේ බව මල්ලවපොර සංගම් තොරතුරු සදහන් කළේය. මෙරට ප්‍රමුඛ ජාත්‍යන්තර නාමයක් ඇති ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයේ නිරතව සිටි මෙම පුද්ගලයාගේ පළමු තරග සහභාගිත්වය මෙය වන බව සදහන්ය.

    මෙයට පෙර ඕස්ට්‍රේලියාවේ පැවති තරගාවලියකට සහභාගිවූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද පළායාමේ සූදානමක් පැවති අතර එම උත්සහයට ඉඩක් නොදී රටේ ක්‍රීර්තිනාමය ආරක්ෂාකර ගැනීමට හැකිවූ බව එම තරගයට එදා සහභාගිවූ මල්ලවපොර සංගම් බලධාරියෙක් අපට සදහන් කළේය.

    ජාත්‍යන්තර තරග සදහා සහභාගිවීමට ගොස් මෙසේ රටට අපකීර්තියක් ගෙනදෙමින් පළාගිය පළමු ක්‍රීඩා සංගම් සාමාජිකයා ඩොනල් පමණක් නොව. මෙරට ඉතිහාසයේ අනූව දසකයේ මුල ජපානයේ පැවැති මල්ලවපොර ශූරතා තරගාවලියකට සහභාගිවීමට ගිය ක්‍රීඩකයින් තිදෙනෙක්ම පළාගොස් තිබුණි. එකල ජාත්‍යන්තර මාධ්‍ය මෙම පළායාම ගැන වාර්තා පලකර තිබුණු අතර එකල එය මෙරට ආන්දෝලනාත්මක සිදුවීමක් විය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවා පැවති අතර වසර 15 කට 20 ට පසු එරට රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි එම ක්‍රීඩකයන්ට මල්ලවපොර ක්‍රීඩා උපදේශකයින් ලෙස රජයෙන් පත්වීම් පවා හිමිව තිබුණු බව තතුදත් තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.