fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්එල්.ටී.ටී.ඊ.යේ වත්කම් ගැන කේ.පී. කී දේ

    එල්.ටී.ටී.ඊ.යේ වත්කම් ගැන කේ.පී. කී දේ

    එල්.ටී.ටී.ඊ. සංවිධානය තමාට කිසිදු වත්කමක් ලබාදී නොතිබුණු බව එම සංවිධානයේ හිටපු මුල්පෙලේ නායකයෙක් මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධීකාරකවරයෙක් ලෙස කටයුතු කළ කේ.පී. හෙවත් කුමාරන් පද්මනාදන් සදහන් කරයි.

    ඔහු පවසන්නේ එල්.ටී.ටී.ඊ.ය තමාට මුදල් ලබාදුන්නේ එදිනෙදා වියදමට පමණක් බවය.

    "අවසන් යුද සමයේදී මම මලයාසියාවේ හැංගිලා හිටියේ. කිසිම වත්කමක් මට ලබා දුන්නේ නැහැ. මගේ එදිනෙදා වියදමට විතරක් මුදල් ලබා දීලා තිබුණා. එහෙම වත්කම් තිබුණා නම් අපේ ජනතාව විනාශයෙන් බේර ගන්න තිබුණා. මොන මොන වත්කම් ඔවුන් දාමා ගියාද කියලා කවුරුත් දන්නේ නෑ. ඒ නිසා මේ කාරණාවට මෙතනින් නැවතීමේ තිත තිබ්බා නම් හොඳයි කියලා මම කියනවා."

    කුමරන් පද්මනාදන් මෙසේ කියන්නේ අවසන් යුද සමයේදී ඔහු සතුව තිබුණේ යැයි එකල කියැවුණු එල්.ටී.ටී.ඊ.ය සතු වත්කම් ගැන විමසීමේදීය.

    මෙම විමසීම ඔහුගෙන් කරනුයේ කිලිනොච්චිය සෙන්චෝලෛ ළමා නිවාසයේ පැවති උත්සවයකදීය. යුද සමයේදී මෙම ස්ථානය ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්වූ ස්ථානයකි. ඒ ළමා සොල්දාදුවන් සම්බන්ධයෙන් වූ සිදුවීමක් හේතුවෙනි.

    කුමරන් පද්මනාදන් ද සහභාගිවී සිටි එම උත්සවය ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය වූවකි. ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන්නේ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාය.

    කුමරන් පද්මනාදන් ආයුධ ජාවාරම හා අපරාධ වලට කුමන්ත්‍රණය කිරීම් සහ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධ ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත්කර සිටින පුද්ගලයෙකි.

    යුද්ධය නිමාවී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයත් සමග එහි නව නායකයා ලෙස බොහෝ දෙනෙක් හදුන්වනු ලැබුවේ කුමරන් පද්මනාදන්වය. ඒ වන විට මලයාසියාවේ රැදී සිටි ඔහුව මෙරට ආරක්ෂක අංශ දියත් කළ බුද්ධි මෙහෙයුමකට අනුව අල්ලාගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ 2009 අගෝස්තු 05 වෙනිදාය.

    එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව නෞකා, ගුවන් යානා සහ වත්කම් වෙනත් රටවල තිබෙන බවත් ඒ සියළු තොරතුරු දන්නේ කුමරන් පද්මනාදන් බවත් එකල කියැවිණි.

    ආරක්ෂක අංශ භාරයේ ඔහුව දීර්ඝ කාලයක් රදවාගෙන සිටියත් ඒ කියන නිසිදු දේපොලක් සොයාගැනීමට හෝ එවන් දේපොලක් ඇති බවක් අනාවරණය වූ බවක් හෙළිවූයේ නැත.

    පුනරුත්ථාපන වැඩසටහනකින් අනතුරුව ඔහුව සිවිල් සමාජයට මුදා හැරීමට පියවර ගත්තේය. පසුව ඔහු උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සහ සංවර්ධන සංවිධානය නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ළමා රැකවරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරමින් එහි කටයුතුවල නිරතවන්නට විය.

    රාජ්‍ය ඇමති පියල් නිශාන්ත ද සිල්වා මහතා ලෝක ළමා දින උත්සව සැමරුමක් වෙනුවෙන් පැමිණෙන්නේ එම ළමා රැකවරණ මධ්‍යස්ථානයටය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීමට ඇමරිකාව බලා ගිය අවස්ථාවේදී නිව්යෝර්ක් හීදී ජගත් මහා ලේකම් හමුවූ අවස්ථාවේදී දෙමළ ඩයස්පොරාවට සාකච්ඡාවකට කළ ආරාධනය ගැන මාධ්‍යවේදීන් කුමරන් පද්මනාදන්ගෙන් ඔහුගේ අදහස විමසනු ලැබීය.

    "ජනාධිපතිතුමාගේ දූරදර්ශිභාවය තමයි ඒ තුළින් පැහැදිලි වෙන්නේ. මොන ප්‍රශ්නය තිබුණත් අපි සාකච්ඡා කරලා ඒක විසඳගත යුතුයි. දැන් ජනාධිපතිතුමා දෑත් දික්කරලා තියෙන්නේ. සියලු දේ එක පාරටම සාර්ථක වෙන්නේ නැහැ. ක්‍රමක් ක්‍රමයෙන් ඔවුන් සමග අත්වැල් බැඳගෙන වැඩ කළ යුතුයි. අපේ වර්තමාන පරපුර සඳහා එය කළ යුතුයි. අපි මේ අවස්ථාව මග හරින්න හොඳ නැහැ. ජනාධිතිතුමාට තුනෙන් දෙකේ බලයක් තියෙනවා. එමනිසා මෙය නිසි ආකාරයෙන් මෙය ප්‍රයෝජිනයට ගත යුතුයි කියන එක තමයි අපේ ජනතාවටත්, නායකයින්ටත් මම කියන්නේ" යැයි ඊට ඔහුගේ පිළිතුර විය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.