fbpx
තවත්
    මුල් පිටුවspecialආබාධයේ බාධාව අවස්ථාවක් වූ 'පැරාලිම්පික්'

    ආබාධයේ බාධාව අවස්ථාවක් වූ ‘පැරාලිම්පික්’

    කෝවිඩ් වසංගතය නිසා වසරක් ප්‍රමාදවී පැවති ඔලිම්පික් තරගාවලිය පසුගියදා උත්සවශ්‍රීයෙන් නිමාවට පත්විය. ඉන් දින කිහිපයකට පසු, එනම් 2021 අගෝස්තු මස 24 වන දින, විවිධ වූ ආබාධ සහිත ක්‍රීඩකයන් සඳහා පැවැත්වෙන පැරාලිම්පික් (Paralympic) තරගාවලිය, සාම්ප්‍රදානුකූලව ජ්‍යාත්‍යන්තර ඔලිම්පික් තරගාවලිය පැවැත්වූ ජපානයේ ටෝකියෝ නගරයේදීම ආරම්භ විය. ලොව පුරා සිටින විවිධ වූ ආබාධ සහිත පුද්ගලයින් හට තම සුවිශේෂී ක්‍රීඩා කුසලතාවයන් එළිදැක්වීම සඳහා මෙම පැරාලිම්පික් තරගාවලිය මහඟු තෝතැන්නකි.

    වර්තමානය වන විට ජ්‍යාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියක් ලෙස පැවැත්වුවද, පැරාලිම්පික් තරගාවලියේ ආරම්භය ලෙස සැලකෙන්නේ දෙවන ලෝක සංග්‍රාමයේදී සුෂුම්නාවට හානි සිදුවීමෙන් ආබාධිතවූ එංගලන්ත ජාතික හමුදා භටයන් සඳහා, ශ්‍රීමත් ලුඩ්වික් ගුට්මාන් විසින් 1948 වසරේදී එංගලන්තයේදී සංවිධානය කරන ලද ක්‍රීඩා තරගාවලියයි. 1952 වසරේදී මේ සඳහා නෙදර්ලන්ත ක්‍රීඩකයන්ද සහභාගී වූ අතර ඉන්පසුව ක්‍රමයෙන් ජ්‍යාත්‍යන්තර තරගාවලියක් දක්වා වර්ධනය විය. වසර 2001දී ජ්‍යාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජ්‍යාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව අතර ඇතිකරගත් “One Bid, One City” සංකල්පය මත, ඔලිම්පික් තරගාවලිය පැවැත්වීම සඳහා තෝරා ගන්නා නගරයම පැරාලිම්පික් තරගාවලිය සඳහාද තෝරා ගැනීමට එකඟවී ඇත.

    අගෝස්තු මස 24 දින සිට සැප්තැම්බර් 5 වන දින දක්වා පැවැත්වීමට නියමිත මෙවර පැරාලිම්පික් තරගාවලිය සඳහා රටවල් 163ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 2,550ක්ද, ක්‍රීඩිකාවන් 1,853ක්ද සහභාගී වන බව ජ්‍යාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව ප්‍රකාශ කර ඇත.

    මෙම පැරාලිම්පික් තරගාවලියේ වැදගත්ම කාරණය වන්නේ තරඟ සඳහා ක්‍රීඩකයන් වර්ගීකරණයයි. එනම් විවිධ ක්‍රීඩකයන්ගේ ආබාධ විවිධාකාර වන බැවින්, කුමන ක්‍රීඩකයන් තරගාවලිය සඳහා කුමන ආකාරයකින් බෙදා වෙන්කරන්නේද යන්නයි. ජ්‍යාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව පවසන ආකාරයට, ආබාධය නිසා විවිධ කටයුතු සිදු කිරීම සඳහා වන බාධාව මත ක්‍රීඩකයන් බෙදා වෙන්කිරීම සිදු කරනු ලබයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ, විවිධ වූ ක්‍රීඩාවන් සඳහා විවිධ වූ කායික හැකියාවන් අවශ්‍ය වන බැවින්, ක්‍රීඩකයන් හට තම කුසලතා උපරිම ලෙස දැක්විය හැකි පරිදි, එම ක්‍රීඩාවෙහි යෙදීම සඳහා ක්‍රීඩකයාට ඇති කායික බාධාවන් අවම වන ලෙස ක්‍රීඩකයන් තරග සඳහා තෝරා ගන්නා බවයි.

    මෙහිදී මූලික කරුණු තුනක් පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ.

    1. ක්‍රීඩකයා හට සුදුසුකම් ලැබීමේ වර්ගීකරණයට අදාල, සදාකාලික ආබාධිත තත්ත්වයක් (Permanent Eligible Impairment) පැවතීම.

    මෙහිදී, ප්‍රධාන වශයෙන් මාංශ පේශි වල දුර්වලතා, ගමන් කිරීමේ දුර්වලතා, බාහුවල දුර්වලතා, පාදවල දිගෙහි වෙනස්කම්, Hypertonia, Ataxia, Athetosis සහ Short Stature යන කායික (Physical) ආබාධ සහ දෘශ්‍ය (Visual) සහ බුද්ධිමය (Intellectual) වශයෙන් මූලික කාණ්ඩ තුනකට බෙදෙන ආබාධ වර්ග 10 ක් යටතේ ක්‍රීඩකයන් වර්ගීකරණය කරනු ලබයි.

    1. ක්‍රීඩකයා සුදුසුකම් ලැබීම සඳහා පැවතිය යුතු අවම ආබාධිත මට්ටම ( Minimum Impairment Criteria) ඉක්මවා තිබීම.

    උදාහරණ ලෙස, Short Stature නම් ආබාධිත තත්ත්වයෙන් පෙළෙන අය, ක්‍රීඩකයන් සඳහා නිර්දේශ කර ඇති උපරිම උස මට්ටමට වඩා උසින් අඩු වීම දැක්විය හැක.

    1. ක්‍රීඩකයන් ක්‍රීඩාවෙහි යෙදවීම සඳහා පොදු පංතීන් (Class) තෝරා ගැනීම. එනම් කිසියම් ත‍රගයක් තරගවදින ක්‍රීඩකයන් සමාන රැකියාවලින් යුක්ත වන ලෙස ද්විතීයික වර්ගීකරණයක් කිරීමයි.

    උදාහරණ ලෙස එකම පංතියක ක්‍රීඩකයන් හට පැරා අයිස් හොකී සහ පැරා බර ඉසිලීමේ ක්‍රීඩා සඳහා එකට තරග කළ හැක. දිවීමේ සහ පැනීමේ ක්‍රීඩා සඳහා පංතීන් 20ක් වන ලෙස ද්විතීයික වර්ගීකරණයක් සිදු කර ඇත.

    මෙහිදී විශේෂත්වය වන්නේ සමහර ආබාධ වල බලපෑම කාලයත් සමග වෙනස් විය හැකි බැවින් ක්‍රීඩකයන්ගේ තමන් අදාල වන වර්ගීකරණයන්ද වරින් වර වෙනස් විය හැකි වීමයි.

    හෙල්ල විසිකිරීමේ ශූර දිනේෂ් ප්‍රියන්තගේ නායකත්වයෙන් යුත් නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර පැරාලිම්පික් තරඟාවලිය සඳහා සහභාගී වන අතර සුවහසක් ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් ඔවුන් වෙත අපගේ සුභාශිංසන මෙයින් පුදකර සිටිමු.

     

     

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.