fbpx
තවත්
    මුල් පිටුවspecialපරිසරය සුරැකීම සඳහා පාරිසරික මර්මස්ථානයන්ට නවසීලන්තය නෛතික පුද්ගලභාවයක් ලබා දෙයි...

    පරිසරය සුරැකීම සඳහා පාරිසරික මර්මස්ථානයන්ට නවසීලන්තය නෛතික පුද්ගලභාවයක් ලබා දෙයි…

    සොබාදහම සහ මිනිසා අතර ඇත්තේ බිඳනොහැකි සම්බන්ධතාවයකි. ශිෂ්ඨාචාරය ආරම්භයේ පටන් තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සොබාදහම මත යැපුන මිනිසා විසින්ම ක්‍රමයෙන් තාක්ෂණය අතින් දියුණුවත්ම පරිසර පද්ධතියට හානි පමුණුවමින් සිදු කරනු ලබන නොයෙකුත් කටයුතු නිසා අවසානයේදී සමස්ථ ජෛව පද්ධතියම අනතුරට ලක් කරඇත. නමුත් පරිසර සංරක්ෂණයේලා සුවිශේෂී පියවරක් ඉදිරියට තබමින් නවසීලන්ත රජය විසින් එරටේ ප්‍රධාන ස්වාභාවික සම්පත් සඳහා නෛතික පුද්ගලභාවයක් ලබාදී ඇති බවට විදෙස් පුවත් සේවා මගින් වාර්තා කොට තිබුණි. එනම් මෙම සම්පත්ද, නීතිය ඉදිරියේ තවත් පුද්ගලයෙකු ලෙසම සැලකුම් ලැබීමයි.

    නවසීලන්තයේ ස්වදේශීක පොලිනීසියානු මඕරි (Maori) ජනතාවගේ හදවත බඳු වූ Whanganui ගංගාව සඳහා නීතිමය ආරක්ෂාවක් ලබා ගැනීමට ඔවුන් විසින් වසර 160ක පමණ කාලයක් තිස්සේ ගෙන ගිය නඩු කටයුත්තක ප්‍රතිඵලයක් ලෙස මෙම නඩුතීන්දුව ලැබී ඇතිබවට වාර්තා වේ. මේ අනුව ජලය දූශණය සිදු වන ක්‍රියා වැනි කාර්යයන් මගින් එම ගංගාවට හානි පැමිණවීම, එම ජන කොට්ඨාශයටම පෞද්ගලිකවම සිදු කරනු ලබන හානියක් ලෙස නීතිය ඉදිරියේ සැළකෙනු ඇත.

    වසර 1970 පමණ කාලයේ සිට, ලොව පුරා වටිනා ස්වාභාවික සම්පත් සඳහා නෛතික පුද්ගලභාවයක් ලබා දීම පිළිබඳ විවිධ ආකාරයෙන් කතිකාවත් ඇතිවී තිබේ. ඇමරිකානු නීති විශාරදයකුවූ මහාචාර්ය ක්‍රිස්ටෝපර් ඩී. ස්ටෝන්ගේ “Should Trees Have Standing” නම් ග්‍රන්ථය මේ සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රචලිත විය. මේ මත පදනම්ව මඕරි ජාතිකයන් දෙදෙනෙකු වූ ජේම්ස් මොරිස් හා ජසින්ටා රූරු විසින් “Giving Voice to Rivers” නම් කෘතියක් ද එළි දක්වා ඇත.

    මීට පෙර, නවසීලන්තයේ ස්වදේශීක ටුහූ ජනතාවගේ ජන්ම භූමිය වූ Te Urewera ප්‍රදේශයද, මඕරි ජනතාවගේම තවත් ඓතිහාසික මර්මස්ථානයක්වූ වසර 120,000ක් පමණ වන Taranaki ගිනිකඳු ප්‍රදේශයද, මෙලෙස නෛතික වශයෙන් පුද්ගලික තත්වයක් ලබා දුන් අවස්ථා ලෙස වාර්තා වේ.

    අප අසල්වැසි ඉන්දියාවේද වරක් ගංගා සහ යමුනා ගංගාවන් සඳහා මෙලෙස නෛතික පුද්ගලභාවයක් ලබාදී ඇති අතර, පසුකාලීනව එම තත්ත්වය ඉවත්කර ඇත. බංග්ලාදේශයේ සියලුම ගංගාවන් සඳහාද නෛතික පුද්ගලභාවයක් ලබාදී ඇති බව පැවසේ. ඉන්දියාවේ හිටපු අග්‍ර විනිශ්චයකාරවරයකු වූ P. N. බගවති මහතා ද පරිසරය හා මිනිස් සබඳතා සමබර කරගැනීම සම්බන්ධයෙන් වැදගත් මෙහෙවරක් ඉටුකළ නීති විශාරදයකු ලෙසට සැලකේ.

    ස්වාභාවික සම්පත් යනු තමන් විසින් අතීතයෙන් රැගෙන ආ දෙයක් නොව, අනාගත පරම්පරාවෙන් ණයට පරිභෝජනය සඳහා ඉල්ලාගත් දෙයක් ලෙස සළකා, පරිසරයට හානිය අවම වන පරිදි තම අවශ්‍යතා සපුරා ගැනීම මිනිසාගේ පරම යුතුකම වන්නේය.

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.