තවත්

    අද කොවිඩ් මරණ 11ක් – ආසාදිතයින්‌ 1600ක්

    0
    covid death

    කොවිඩ්-19 ආසාදනයෙන් සිදුවූ මරණ 11ක් අද වාර්තා වී තිබේ.

    ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 678 දක්වා ඉහළ ගොස් ඇත.

    අඛණ්ඩව දින කිහිපයක් තිස්සේ දෛනිකව වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම අද දිනයේ ද සිදුව ඇති අතර අද වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1636 කි.

    තවත් ප්‍රදේශ 17ක් හුදෙකලා කෙරේ

    0

    කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 15ක්‌ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 2ක් හුදකලා කළ බව යුද හමුදපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.

    ඒ අනුව හුදෙකලා කරන ලද ප්‍රදේශ
    පහතින්‌ දැක්වේ.

    • බදුරලිය පොලිස්‌ බල ප්‍රදේශයේ

    බොල්දුන්න ග්‍රාම නිලධාරී වසම
    ඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසම
    මිදාන ග්‍රාම නිලධාරී වසම
    මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම
    පැළෑද ග්‍රාම නිලධාරි වසම
    හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම
    මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම

    • තීනියාවල පොලිස්‌ බලපුදේශයේ

    තිනියාවල ග්‍රාම නිලධාරී වසම

    • මීගහතැන්න පොලිස්‌ බල ප්‍රදේශයේ

    වල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම
    මාකලන්දව ග්‍රාම නිලධාරී වසම
    බෝතලාව ග්‍රාම නිලධාරී වසම
    කටුකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම
    පහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම
    මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම
    පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම

    • පොළොන්නරුව දිස්ත්‍රික්කයේ

    සරුබිම ග්‍රාම නිලධාරි වසම
    ඇළහැර ග්‍රාම නිලධාරී වසම

    ඔක්සිජන් තිබ්බත් සිලින්ඩර් මදිලු

    0

    මෙරට තුළ හදිසි භාවිතය වෙනුවෙන් ප්‍රමාණවත් ඔක්සිජන් තිබුණද ඒවා රෝගීන් වැඩි ප‍්‍රමාණයක් වෙත ගෙන එකවර යාමට සරිලන සිලින්ඩර ධාරිතාවක් නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    රිෂාඩ්- කේරළය- සිරියාවට පැන්න අන්තවාදීන් අතර සබඳකම් ගැන ඉන්දියාවෙන් විමර්ශනයක්

    0

    මෙරට පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධව චෝදනා මත මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමත් සමග ඉන්දීය බුද්ධි කාර්යාංශය සහ කේරළ පොලිසිය විසින්, සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රස් නායක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බතියුදීන්ගේ කේරළ සම්බන්ධතා පිළිබඳව සොයා බැලීමට පටන් ගෙන තිබේ.

    බතියුදීන්ගෙකේරළයේ ඇති සම්බන්ධතා පිළිබඳ නිශ්චිත තොරතුරු තවම අනාවරණය වී නොමැති අතර, 2009 දී ඔහු කසරාගොඩ් සංචාරයට අදාළ තොරතුරු සහ කේරළයේ ආගමික නායකයන් කිහිප දෙනෙකු සමඟ ඔහු දැන හඳුනා ගැනීම පිළිබඳව මෙහිදී සොයා බලනු ඇත.

    රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා 2013 දී ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාව සිටියදී විශේෂයෙන් චෙන්නායි හි සංචාරය කළ අවස්ථාවේදී ඇති කර ගත් සබඳතා පිළිබඳව මෙහිදී වැඩිදුර සොයා බලන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසීය.

    බුද්ධි අංශ නිලධාරීන්ට අනුව, රිෂාඩ්ගේ පියා කසරාගොඩ් පද්නා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම ඔහු එම කලාපයේ පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධකම් පවත්වා තිබේ. මේ වන විටත් ඉන්දීය බුද්ධි කාර්යාංශය සහ එරට ජාතික විමර්ශන ඒජන්සිය (එන්.අයි.ඒ) ශ්‍රී ලංකා රජය සමඟ මේ පිළිබඳ සම්බන්ධීකරණයේ යෙදී සිටි.

    බතියුදීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය.

    ඔහුගේ සහෝදරයා වන රියාජ් බතියුදීන් 2020 අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගත් නමුත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් පසුව නිදහස් කරන ලදී.

    අයිඑස් සංවිධානයට බැඳීම සඳහා 2016 දී සිරියාව බලා පිටත්ව ගිය පද්නා නුවර සිට පැමිණි තරුණ මුස්ලිම් පවුල් 5 ක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ පරීක්ෂණයක් ලෙස බතියුදීන් සමඟ කසරගොඩ් සම්බන්ධතාවය සවිස්තරාත්මකව සොයා බලන බව බුද්ධි අංශ නිලධාරීන් පවසයි.

    සිරියාවට යාමට පෙර ඔවුන්ගෙන් ඇතැමුන් ශ්‍රී ලංකාවේ ජාතික තව්හීඩ් ජමාත් සමග සම්බන්ධව සිට ආගමික පුහුණුව ලැබූ අය බව අනාවරණය කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    2019 අප්‍රේල් 21 සිදුවූ අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 279 දෙනෙකු මිය ගොස් සිය ගණනක් තුවාල ලැබූහ.

    “රට වසාදැමීමේ තීන්දුව නිසි වෙලාවට ගන්න”- විශේෂඥ වෛද්‍ය සංගමය

    0

    අංජනා මල්ලවආරච්චි

    covid-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත් වඩා වැදගත් වන්නේ වෛරසය පැතිරීම වැළැක්වීම වන නිසා රට වසා තැබීමට අවශ්‍ය නම් ඒ තීන්දුව නිසි වේලාවට ගැනීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    කිසිසේත්ම රට වසා දමන්නේ නැතැයි කියන දැඩි මතය හොඳම දේ නොවන්නට හැකි යැයිද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පැවසීය.

    සියලු කටයුතු කිරීමට කුඩා කණ්ඩායමකට අපහසු නම් ඒ බව පිළිගෙන කණ්ඩායම පුළුල් කර ගැනීමට වසංගත රෝග අංශයේ යුතුකම බවද ඔහු කීය.

    අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට කොතලාවල සරසවි රෝහල ඇරේ

    0

    අංජනා මල්ලවආරච්චි

    අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා වේරහැර පිහිටි ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර සේවා පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ඒ අනුව එම රෝහලේ දැඩි සත්කාර දැඩිසත්කාර ඒකක තුනක හදිසි ප්‍රතිකාර ඇදන් 24ක් දැඩි සත්කාර ඇඳන් 12ක් ස්ථාපනය කිරීමට පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

    වහාම ක්‍රියාත්මක වන පරිදි එම රෝහලට වෛද්‍යවරුන් 30ක් හෙදියන් 80ක් කණිෂ්ඨ කාර්යය මණ්ඩල සාමාජිකයින් 25ක් යෙදවීමටද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

    රාජගිරියට වර්ෂාවෙන් දැඩි පීඩා

    0

    රාජගිරිය බුත්ගමුව පිහිටි පැලපත් නිවාස ඊයේ 29  රාත්‍රිය පුරා ඇද හැළුනු වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයක් හටගැනීම නිසා ජනයා අසීරුවට පත්ව සිටි අයුරු. මෙහි පවුල් 50 පමණ ජීවත් වන බව එහි ජනයා පවසයි.

    පහේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

    0

    අංජනා මල්ලවආරච්චි

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද පෙරවරුවේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියේ පළ කර තිබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම්පත් 21000ක් ලැබී තිබූ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

    චීන ආරක්ෂක ඇමතිට හෝන් ගැසූ තරුණයාට ඇප

    0

    චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරය සදහා පැමිණි අවස්ථාවේදී ඔහු රැගත් රථ පෙළ ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා ගමන් කිරීමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කරමින් පොලීසියට විරෝධය දක්වමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයාට දැඩිව අවවාද කරමින් අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් විසින් රුපියල් 50000 ක ශරීර ඇපයක් මත අද (30) මුදා හැරියේය.

    මාර්ගය වසා තිබුණේ චීන විදේශ කටයුතු ඇමති වෙනුවෙන් බව තමන් නොදැන සිටි බවත් එම අවස්ථාවේදී වූ ක්‍රියාව සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවත් සදහන් කරමින් එම තරුණයා අධිකරණය හමුවේ වරද පිළිගත්තේය.

    එම අවස්ථාවේදී දීර්ඝ ලෙස මහේස්ත්‍රිත්වරයා මෙම තරුණයාට අවවාදකරමින් සදහන් කරනු ලැබුවේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මෙරටට නිල සංචාරයකට පැමිණෙන විට ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර ගත යුතු බවත් එසේ නොවන්නේ නම් රටවල් අතර හොද හිත් පවා පලුදුවීමට ඉඩ ඇති බවත් විවෘත අධිකරණයේදී සදහන් කළේය.

    තරුණයාට ඇප ලබාදෙමින් මැයි 12 වෙනිදා නඩුව කැදවන බවද එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

    ජූලි 14 වැනිදා දක්වා හරීන්ව අත්අඩංගුවට නොගන්නා බව නීතිපති කියයි

    0

    පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි කියමින් තමාව අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේ නීතිපති මේ බව දැනුම් දුන්නේය.

    මංගල උත්සවත් තහනම් කෙරේ

    0

    මංගල උත්සව ඇතුළු සියලු උත්සව එළඹෙන සඳුදා (3) දිනයෙන් පසු සති දෙකක කාලයක් තුළ පැවැත්වීම තහනම් කර තිබේ.

    covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රදානය යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ නිවේදනය කර ඇත.

    හොර පාරෙන් මෙරටට කහ ගෙනා ඉන්දියානුවන් 12 ක් නාවික හමුදා දැලේ

    0

    අන්තර්ජාතික මුහුදු සීමාවන් උල්ලංඝනය කරමින් වියලි කහ, එනසාල් ඇතුළු ආහාර ද්‍රව්‍ය තොගයක් රැගෙන ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වූ ඉන්දීය යාත්‍රා දෙකක් ඉන්දියානුවන් 12 දෙනෙක් සමග ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අප්‍රේල් 27 සහ 28 යන දිනයන්හි ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ කුදිරමලෙයි තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී කළ මෙහෙයුමක ප්‍රතිථලයක් ලෙස මෙම යාත්‍රා දෙක කොටුවී ඇත. ඒවා ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවන්ය.

    වියලි කහ කිලෝ 2790 ක්, එනසාල් කිලෝ 803 ක්, සමග තවත් ආහාර ද්‍රව්‍ය රැසක් එම යාත්‍රා දෙකෙහි තිබුණු බව නාවික හමුදාව සදහන් කරයි.

    මෙලෙස ඉන්දීය ඩව් යාත්‍රාවන් මඟින් රැගෙන එන ලද එනසාල්, වියලි කහ ඇතුළු අනෙකුත් පරිභෝජන ද්‍රව්‍යයන් මුහුදේදී මෙරට යාත්‍රාවන්ට හුවමාරු කර ගොඩබිමට රැගෙන ඒමට ජාවාරම් කරුවන් සැළසුම් කර තිබෙන්නට ඇතැයි නාවික හමුදාව සැක කරයි.

    කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් එනසාල්, වියලි කහ ඇතුළු අනෙකුත් පරිභෝජන ද්‍රව්‍යයන් විෂබීජහරණය කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදාභාරයේ තබා ගැනීමට කටයුතු කළ කරන බව ද නාවික හමුදාව සදහන් කළේය.

    පවතින කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ අවධානම සැළකිල්ලට ගනිමින් ඉන්දීය ජාතිකයින් 12 දෙනා සහ ඩව් යාත්‍රාවන් ඉන්දීය මුහුදු කලාපයට පිටත්කර යැවීමට කටයුතු කළ බවද නාවික හමුදාව සදහන් කරයි.

     

    මීටරේ මදි – දුරස්ථභාවය ගැන නිර්දේශය අලුත් වෙයි

    0

    මේ දිනවල රට පුරා ව්‍යාප්ත වන කොරෝනා වසංගතයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තියත්‌ සමග පුද්ගලයින්‌ දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථභාවය අවම වශයෙන් මීටර් 2ක්වත් විය යුතු බව විශේෂඥයෝ අවධාරණය කරති.

    ඒ අනුව මෙතෙක් කල් පැවති මීටරයක් දුරින් සිටිය යුතු බවට වන සෞඛ්‍ය නිර්දේශ වෙනස්‌ කළ යුතු බව ඔවුහු කියති.

    අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය, පද්මා ගුණරත්න මේ බව ප්‍රකාශ කළාය.


    බදියුදීන්ට පාර්ලිමේන්තු එන්න කථානායකගෙන් අවසර

    0

    පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගිකරවා ගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කැමැත්ත අද (30) පළකර ඇත.

    ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමක් අනුවය.

    ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනයන්හීදී රිෂාඩ් බදියුදීන් මහතා ඊට සහභාගී කරවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද දැනුම් දෙනු ඇත.

    අභය වැව හෙවත් බසවක්කුලම වැව ලෝක උරුමයක් වෙයි

    0

    මෙරට ඉදි වූ පළමු වැව ලෙස සැලකෙන අනුරාධපුරයේ පිහිටි අභය වැව හෙවත් බසවක්කුලම වැව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබේ.

    ක්‍රි.ව 437-367 අතර කාලයේ පණ්ඩුකාභය රජු විසින් අභය වැව ඉදිකරන ලදී.

    ඊට පෙර ඉදිවූ වැව් පිළිබඳ වෙනත් රටවලින් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය පවසයි.

    ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා සුදුසුකම් දහයක් සම්පූර්ණ කළ යුතු වේ.

    ඒ අතුරින් එකක් හෝ සම්පූර්ණ කර තිබිය යුතු වන අතර අභය වැව ඉන් සුදුසුකම් හතරක් සපුරා ඇත.

    අනුරාධපුරයේ පූජා නගරයේ මහ මෙව්නා උයනේ මෙය පිහිටා ඇත්තේ රුවන්වැලිසෑය හා ශ්‍රී මහා බෝධීන් වහන්සේට පෙනෙන මානයේ වීම එහි එක් පසෙකින් දැනගත හැකි දර්ශනය අති රමණීය ය.

    වැවේ ප්‍රමාණය වර්ග සැතපුම් 3.8 කි. වැවේ උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 1900කි.

    වැවේ සාමාන්‍ය ගැඹුර අඩි 15ක් පමණ වේ. අඩි 3900 ක් පමණ දිග බැම්මකින් සමන්විත මෙම වැවට ඇත්තේ එක් සොරොව්වක් පමණි.

    විවර 9 යකින් හා අඩි 100ක් පමණ දිගකින් යුතු වානක් සහිත ය.

    මෙම වැව කුඹුරු අක්කර 390 කට පමණ වී වගාව සදහා ජලය සපයයි,වන්දනාවේ පැමිණෙන බැතිමතුන් මෙහින් ස්නානය කිරීමට අමතක නොකරයි , ස්වාභාව සුන්දරත්වයෙන් අනූන මෙම වැවෙන් පානිය ජල අවශ්‍යතවද සපුරා ගනී.

    කටුනායක අධිවේගයේදී සුමන්තිරන් අනතුරක

    0

    දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය අද (30) අලුයම අනතුරට ලක්ව තිබේ.

    මෙම අනතුරින් සුමන්තිරන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නොමැති අතර මෝටර් රථයට දැඩි හානි සිදුව ඇත.

    අධික වර්ෂාව පැවැති එම අවස්තාවේදී මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ලෙස්සා ගොස් ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි අධිවේගී මාර්ග ආරක්ෂක පොලිස් ඒකකය සදහන් කරයි.

    කොවිඩ් රෝගීන් දසදහසක් රෝහල්වල

    0

    මෙරටින්‌ හමුවූ කොරෝනා ආසාදිතයින්‌ 10,372 ක්‌ රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ.

    එක් දිනයක්‌ තුළ වාර්තා වූ වැඩි ආසාදිතයන්‌ සංඛ්‍යාව අඛණ්ඩව යළිත්‌ අලුත්‌ කරමින්‌ ඊයේ දිනයේදී මෙරටින්‌ ආසාදිතයින්‌ 1,531 දෙනෙකු වාර්තා විය.

    ඒ අනුව අඛණ්ඩව මෙරටින්‌ දහසේ සීමාව ඉක්මවා කොරෝනා ආසාදිතයන්‌ වාර්තාවූ
    තුන්වන දිනය මෙයයි.

    නව ආසාදිතයින් අලුත්‌ අවුරුදු කොවිඩ්‌ පොකුරේ ආශ්‍රිතයින්‌ ලෙස හඳුනාගෙන ඇත.

    විදේශයන්‌හි සිට පැමිණි 40 දෙනෙකු ද ඒ
    අතර වේ.

    ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන්‌ සංඛ්‍යාව 106,484 ක්‌ ලෙසට ඉහළ ගියේ ය.

    චීන ආරක්ෂක ඇමතිට හෝන් විරෝධයක් දක්වන්න උසිගැන්වූ තරුණයා අත්අඩංගුවට

    0

    චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරය සදහා පැමිණි අවස්ථාවේදී ඔහු රැගත් රථ පෙළ ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා ගමන් කිරීමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කරමින් පොලීසියට විරෝධය දක්වමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කළ පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.‍

    බොරැල්ල ප්‍රදේශයෙන් අදාළ රථ පෙළ ඉකුත් 27 වෙනිදා රාත්‍රියේ ගමන් කිරීමේදී රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් සෙසු වාහන ගමනාගමනයට ඉඩනොදී චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ රථ පෙළට පමණක් ගමන් කිරීමට මාර්ගයේ ඉඩසලසා දී තිබේ. එම අවස්ථාවේදී දැඩි රථවාහන තදබදයක් සෙසු මාර්ගවල ඇතිවී තිබෙන අතර එහිදී මෝටර් රථයක සිටි තරුණයෙක් ඊට විරෝධය දක්වමින් සෙසු රියදුරන්ට වාහනවල නලා නාද කරමින් විරෝධටය පෑමට පොළඹවා තිබේ. එව සජීවීව සමාජ මාධ්‍යෙවතද මුදා හැරීමට ඔහු පියවර ගෙන තිබේ.

    අදාල වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහකට ලක්වෙමින් තිබේ. පොලීසිය එම තරුණයාව ඊයේ (29) අත්අඩංගුවට ගන්නේ එවන් පසුබිමක් තිබියදීය.

    වසර 10 ක කාලයක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා පැමිණ සිටින එම තරුණයා බත්තරමුල්ලේ පැලවත්තේ පදිංචි 32 හැවරදි වියේ පසුවන්නෙකි. ඔහු රථවාහන තදබදයට හසුවී ඇත්තේ සිය පෙම්වතිය සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීය.

    මෝටර් රථයේ අංකය සහ සමාජ මාධ්‍ය වීඩියෝව අන්තර් ජාලයට මුදා හරි ලද දුරකතනයේ දත්තයන්ට අනුව එම තරුණයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ය. එහිදී එම තරුණයා පොලීසියට පවසා ඇත්තේ විනාඩි 20 කට වැඩි කාලයක් මාර්ගය වසා තිබුණු බවත් පෙර දැනුම්දීමකින් තොරව පොලීසිය එසේ මාර්ගය වසා දමූ බවත්ය. ප්‍රභූවරයෙකුට ගමන් කිරීමට මාර්ගය වසා දමන්නේ නම් එය පොදු මාර්ගය භාවිතා කරන්නන්ට අවම පීඩාවක් ඇතිවන ආකරයෙන් කළ යුතුව ඇති බවත් නිසි සැළසුමකට අනුව මාර්ගය වසා දැමුවේ නම් විනාඩි 20 කට වඩා වසා දැමීමේ අවශ්‍යතාවක් නොතිබුණු බවද ප්‍රශ්න කිරීම් හමුවේ එම තරුණයා පොලීසියට පෙන්වා දී ඇත.

    කෙසේ වෙතත් ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙසින් මෙම තරුණයාව පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අද (30) අධිකරණයට ඉදිරිපත්කරන බව බොරැල්ල පොලීසිය සදහන් කරයි.

    අද උදෑසන සිට හුදෙකලා කළ ප්‍රදේශ මෙන්න

    0

    මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 05 ක් අද (30) උදෑසන සිට හුදෙකලා කර තිබේ.

    මාතලේ දිස්ත්‍රික්කයේ , ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් 04 ත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමත් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

    මෙයට අමතරව කුරුණෑගල සහ මොනරාගල පිහිටි ග්‍රාම නිලධාරී වසම් තුනක් අද උදෑසන සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව, ගල්අමුණ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් ඒ අනුව හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

    අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් අද 1500ක් හමුවෙයි

    0

    අලුත් අවුරුදු කොවිඩ් පොකුර ලෙස හඳුනාගත් නව පොකුර යටතේ අද දිනය තුළ අනාවරණය කරගත් නව ආසාදිතයින්‌ ගණන 1,531 කි.

    කොරෝනා වයිරස් ආශ්‍රිත මරණ 6 ක් අද වාර්තා වී ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 667 දක්වා ඉහළ ගොස් තිබේ.

    හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

    0

    ශ්‍රී ලංකා පොලීසියේ 32 වන පොලිස්පතිවරයා ලෙසත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයෙක් ලෙසක් කටයුතුකර ඇති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා අද (29) සවස පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

    ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට 1978 වසරේ එක්වන මහින්ද බාලසූරිය මහතා 2009 වසරේ සැත්තැම්බර් 03 වෙනිදා 32 වැනි පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව 2011 වසරේ ජුනි 17 වෙනිදා පොලිස්පතිධූරයෙන් ඉල්ලා අස්වන්නේ වසය අවුරුදු 60 සම්පූර්ණව පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට තවත් වසරක කාලයක් තිබියදීය. ඒ මහතා එසේ පොලිස්පතිධුරයෙන් ඉල්ලා අස්වන්නේ එවකට පැවැති ආණ්ඩුව පුද්ගලික අංශයේ සේවකයින්ට යෝජිත විශ්‍රාම වැටුප් පනතට එරෙහිව කටුුනායක නිදහස් වෙළද කලාපයේ සේවකයින් විසින් කළ උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට යාමේදී පොලිස් වෙඩි පහරකින් තරුණයෙක් මිය යාමත් සමග එහි වගකීම භාර ගනිමිනි.

    පොලිස්පතිධූරයෙන් ඉල්ලා අස්වූ මහින්ද බාලසූරිය මහතා බ්‍රසීලයේ තානාපතිධුරයට පත්වන අතර පසුව ඔහු අබුඩාබි තානාපති ලෙසද සේවය කරනු ලැබීය. අනතුරුව බාලසූරිය මහතා නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කලක් කටයුුතු කළේය.

    ශ්‍රී ලංකා පොලීසියේ එතෙක් මෙතෙක් සේවයේ නිරතව සිටි එකම ආචාර්ය උපාධිධාරියා වන්නේද මහින්ද බාලසූරිය මහතාය.

    ඉදිරියේ ඇතිවිය හැකි III මට්ටමේ කොවිඩ් අවදානමට පෙරසූදානම් තීන්දු රැසක්

    0

    ඉදිරියේදී ඇතිවිය හැකි කොවිඩ් වසංගත අවදානම් තුන්වැනි මට්ටමේ දී මතුවන තත්වයන්ට මුහුණදීම සදහා අවශ්‍ය පූර්ව සැලසුමක් සකස් කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අවධානය යොමුවෙයි.

    කොවිඩ් -19 වැළදෙන රෝගීන්ගේ වැඩිවීමක් දිනෙන් දින වාර්තාවීමත් සමග වෛරසයේ නව ප්‍රභේදය වන B117 වෛරස් කාණ්ඩය ශ්‍රී ලංකාව තුළ සිඝ්‍රයෙන් පැතිර යන බවට හදුනාගැනීම නිසා මෙම පියවර ගෙන ඇත.

    මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද දීර්ඝ ලෙස සෞඛ්‍ය විශේෂඥයින් සමග සාකච්ඡා කරන ලදි.

    එහිදී ගත් තීරණ පහත දැක්වේ.

    • නව කොවිඩ් වෛරසය හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සංචිතය පවත්වා ගැනීම.
    • ඔක්සිජන් සැපයුම් ආයතන සමග සාකච්ඡා කොට හදිසි අවශ්‍යතාවකදී ලබාගත හැකි ඔක්සිජන් ප්‍රමාණයන් පිළිබදවද තක්සේරුවක් සිදුකිරීම.
    • කොවිඩ් වෙනුවෙන් වෙන්වූ රෝහල් සදහා ජම්බෝ සිලින්ඩර් ලබාදීම.
    • ඉතා අසාධ්‍ය නොවන නමුත් විශේෂ අවධානයක් දියයුතු රෝගීන් සදහා High Dependency Unit (HDUs) ඇතිකිරීම හා ඒ සදහා High Flow machines සවිකිරීම.
    • ගම්පහ දිස්ත්‍රික්කයේ PCR පරික්ෂා කිරීමේ ධාරිතාව වැඩිකිරීම.
    • වතුපිටිවල රෝහලේ නව PCR යන්ත්‍රයක් සවිකිරීම.
    • රෝගීන්ගේ වාර්තාවීම වැඩිවීමත් සමග රෝහල් පද්ධතියට ඇතිවිය හැකි බර අවම කිරීම සදහා අතරමැදි සත්කාරක සේවා මධ්‍යස්ථාන (Intermediate Care Centers) ඇතිකිරීමට අවශ්‍ය පියවර ගැනීම. ඒවා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඇති කිරීම.
    • ඇදන් ධාරිතාව 200කට වැඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම.
    • ඒ සදහා රජයේ සහ පෞද්ගලික ආයතනවල ගොඩනැගිලි ලබාගැනීම. දැනටමත් ආයතන කිහිපයක ගොඩනැගිලි මේ සදහා ලබාදීමට කැමැත්ත පලකර ඇත.
    • ඒ සදහා අවශ්‍ය ඇදන්, ලොකර්ස් සහ අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීම.
    • කොවිඩ් මර්දනයේදී පැනනගින වාහන අවශ්‍යතාව කෙරෙහි සුදුසු වැඩපිළිවෙලක් සකස්කිරීම.
    • ග්‍රාමීය ප්‍රදේශවල සුවසැරිය ගිලන්රථ සේවාව ඉටුකිරීම සදහා අතිරේක ගිලන් රථ ලබාගැනීම.

    මෙම සාකච්ඡාව සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවා වෛද්‍ය සුදත් ධර්මරත්න, අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම් අන්වර් හම්ඩානි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය.
    ,

    කොළඹ ජාතික කෞතුකාගාරය තාවකාලිකව වැසේ

    0

    කොළඹ ජාතික කෞතුකාගාරය සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කෙරේ.

    ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසන්නේ කොවිඩ් -19 අවදානම සහ ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තාවීම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බව ය.

    කිංස්ලි රත්නායක ජනපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට

    0

    ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත් කෙරේ.

    අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, කිංස්ලි රත්නායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්විම් ලිපිය ලබා ගත්තේය.

    කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

    විසි හත් (27) වසරක මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු ලෙස සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ඒ මහතා ප්‍රමුඛ විද්‍යුත් මාධ්‍ය නාලිකාවක වැඩසටහන් කළමනාකරුවෙකු, වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු, අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ නාලිකා ප්‍රධානී ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හෙබවීය.

    ශ්‍රී ලාංකීය ගුවන් විදුලියේ නව හැරවුමක් සනිටුහන් කළ කිංස්ලි රත්නායක මහතා නිර්මාණශීලි හැකියාවන් තුළින් මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළ අයෙකි.

    ගෙවුණු දිනය තුළ PCR 24,000 ක්

    0

    කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ 23,730ක් සිදුකළ බව රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    මේ අනුව දිනක් තුළ සිදුකළ වැඩිම පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනය තුළ සිදුකර ඇත.

    මෙතෙක් සිදුකර ඇති සමස්ත පීසීආර් සංඛ්‍යාව මිලියන 2.7කි. 

    මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 362 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    මෙරට සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 95,445කි.

    නියපොතු පවා හැලෙන වෛරස් රෝගයක් දරුවන් අතරේ පැතිරෙයි

    0

    අංජනා මල්ලවආරච්චි

    මේ දිනවල ළමුන් අතර වෛරස් උණ රෝගයක් පැතිර යන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

    උණ ගතිය අත කට වටේ සහ කකුල් වල රතු ලප හට ගැනීම දිව තුවාල වීම ඇඟ කැසීම අත කැසීම ඇඟපත වේදනාව මෙම වෛරස් උණ රෝගයේ ලක්ෂණ බව විශේෂඥ වෛද්‍යවරයා කීය.

    මෙම උණ රෝගයට ගොදුරු වූවන්ගෙන් වූවන්ගෙන් ඇතමෙකුගේ නියපොතු හැලීම පවා සිදු වන බව ඔහු කීය.

    ඇතැම් ළමුන්ට මෙම වෛරස් රෝගය වැළඳුණ ද උණ ගතිය නොපෙන්වන බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය.

    එම නිසා වෛරසය වැළඳුණු දරුවන් වෙන්කර තැබිය යුතු අතර නිතර නිතර පිරිසිදුව සිටීම වැදගත් බව ද විශේෂඥ වෛද්‍යවරයා කීය .

    නිවාස සංවර්ධන අධිකාරියේ ලොක්කෝ දෙදෙනෙකුට කොවිඩ්

    0

    අංජනා මල්ලවආරච්චි

    නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාට සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

    මීට අමතරව තවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු දෙදෙනෙකු පීසීආර් පරීක්ෂණවලට ලක් කර සිටින අතර ඔවුන්ගේ වාර්තා අද පස්වරුව වන විටත් ලැබී තිබුණේ නැත.

    මේ පිළිබඳ අදහස් දක්වමින් නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඉකුත් සතියේ නිලධාරීන් කැඳවා රැස්වීමක් පැවැත් වූ බවය.

    සිකුරාදා සහ රාමසාන් දේව මෙහෙයන් අත්හිටුවයි

    0

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිකුරාදා සහ රාමසාන් දිනවල මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන ආගමික වතාවත් තාවකාලිකව අත්හිටුවීමට වකුෆ්තී සභාව තීරණය කළ බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අද (29) නිවේදනය කරයි.

    දිනකට පස් වතාවක් කෙරෙන යාඥා සඳහා එකවර පල්ලිය තුළ රැස්විය හැකි උපරිමව ගණන 25 දෙනෙක්ටද සීමා කර තිබේ. එමෙන්ම මීටරයේ පරතරය තබා ගැනීම සහ මුඛ ආවරණ පැලඳී ම ද අනිවාර්ය කර ඇත.

    එසේම දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ඇති සියලු මුස්ලිම් පල්ලි නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට ද තීරණය කර ඇතැයිද මුස්ලිම් ආගමික සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    සමහර තැන්වල අහඹු පරීක්ෂණවලට සෞඛ්‍ය අංශ ඇවිත් නෑ

    0

    අංජනා මල්ලවආරච්චි

    බස්නාහිර පළාතෙන් පිට වන සහ එම පළාතට ඇතුළු වන්නන් ස්ථාන 12කදී අහඹු ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කරන බවට ප්‍රකාශ කෙරුණද අද ස්ථාන කිහිපයක එම කටයුතු සිදු නොවූ බව වාර්තා වේ.

    මීගමුව කොච්චිකඩේ තොප්පුව පාලම අසල සහ නිට්ටඹුව ප්‍රදේශයේ එවැනි අහඹු පරීක්ෂණ සිදුකිරීමට අද පෙරවරුවේ සිටම ආරක්ෂක අංශ සූදානමින් සිටියද සෞඛ්‍ය අංශ නිලධාරීන් ඊට එකඟ නොවීම නිසා එම පරීක්ෂණ සිදු නොවූ බව වාර්තා වේ.

    මේ පිළිබඳ කළ විමසුමකදී ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහන් කළේ එවැනි අහඹු පරීක්ෂණ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී නැති බවය.

    වැටුප් ප්‍රශ්නයක් නිසා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සභාපති නිල කාමරේ හිරකරලා

    0

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා එහි සේවකයින් පිරිසක් විසින් ඔහුගේ නිල කාමරයේ සිරකර ගෙන සිටින බව වාර්තා වේ.

    වැටුප් පිළිබඳ ගැටලුවක් මුල් කර ගනිමින් කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි එහි කාර්යාලයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.