fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලි-මිනිස් ගැටුමට සාම ව්‍යාපෘතියක්

    අලි-මිනිස් ගැටුමට සාම ව්‍යාපෘතියක්

    හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නිරන්තරයෙන්ම වාර්තා වන අලි මිනිස් ගැටුමට පිළියම් යෙදීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විසින් ඇමෙරිකානු ඩොලර් 50,000ක් යොදවා අරම්භකළ අලි “මිනිස් සාම ව්‍යාපෘතිය“ අරමුදල යටතේ සිදුවන පළමු ව්‍යාපෘතිය ලෙස එල්ලෙන විදුලි වැට ඉදිකිරීමේ කටයුතු තම්මැන්නාව ගම්මානයෙන් ආරම්භ කෙරිණි.

    තම්මැන්නාව ගම්මානය ආවරණය වන ලෙස කිලෝමීටර් 5.8ක් දිග මෙම එල්ලෙන විදුලි වැටේ ඉදිකිරීම් කටයුතු සිදුවන්නේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිවය.

    ගම්මානයේ ජීවත්වන පවුල් 60 ක 200 ට වැඩි පිරිසකට ඔවුන්ගේ ජීවනෝපායන් බියක් සැකක් නොමැතිව නිදහසේ කරගෙන යාමට මෙන්ම කෘෂි අස්වැන්න සඳහා රැකවරණයක් මේ තුළින් ලැබෙනු ඇති බවත් අපේක්ෂා කරයි.

    “අප අවට ප්‍රජාවන්ගේ පාරිසරික හා සමාජීය සංවර්ධනය අපගේ වරාය සංවර්ධන වැඩසටහනේ අත්‍යවශ්‍ය අංගයක්. අලි මිනිස් සාම අරමුදල අපගේ පරිසර ආරක්ෂණ වැඩසටහන යටතේ පිහිටවූයේ පවතින ගැටුමට විසඳුම් සෙවීම සඳහායි. දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රශ්නයක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා අපගේ පූර්ණ අවධානය යොමු කර ඇති අතර සාම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සියලුම ක්‍රියාමාර්ග තීරණය කර ක්‍රියාවට නංවන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි. මෙම මූලික පියවරයන්හි සාර්ථකත්වය මත, දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන පරිදි, ප්‍රදේශයේ අලි ගහනය සඳහා තිරසාර විසඳුම් ලබා ගැනීමේ අනෙකුත් මුලපිරීම් සඳහා සහය වීමටද අප බලාපොරොත්තු වෙනවා.” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.

    වරාය අවට ප්‍රජාව සහ පරිසරය සුරැකීම තම සමාජ වගකීම යැයි හම්බන්තොට වරාය බලධාරීන් තරයේ විශ්වාස කරයි. තම්මැන්නාවෙහි දැනට පවතින පාරම්පරික විදුලි වැටට අලි ඇතුන් හුරු වී ඇති හෙයින් එය ඉවත් කොට එල්ලෙන වැටක් ඉදි කිරීමට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත තීරණය වී වූවකි. ඒ අනුව මෙම වැඩපිළිවෙළ තුළින් අලි මිනිස් ගැටුම විසඳීමේ ඉලක්කය කරා සමීප වීමට හැකි වනු ඇතැයි හම්බන්තොය වරාය බලධාරීන්ගේ බලාපොරොත්තුයි.

    කෘෂිකර්මාන්තය තම්මැන්නාව ගම්වාසීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන නිසා හදිසි අලි ප්‍රහාරවලින් ඔවුන්ගේ වටපිටාව ආරක්ෂා කර දීමේ අරමුණින් මෙම වැට ඉදි කරන අතර එතුළින් ඔවුනට සාමකාමීව, බියෙන් තොරව තම එදිනෙදා කටයුතු වල යෙදීමට අවකාශය ලැබෙනු ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විශ්වාස කරයි.

    මෙම එල්ලෙන විදුලි වැට සඳහා වැයවනු ඇතැයි අපේක්ෂිත මුදල රුපියල් මිලියන10කි.

    මෙයට අමතරව මෙම අලි මිනිස් ගැටළුව විසඳීම සඳහා ඉදිරිපත්ව සිටින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඒ සඳහා උනන්දු වන විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිරිපත් කරන ව්‍යාපෘති මාලාවකට සහාය වීමටද සූදානමින් සිටින බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සඳහන් කරයි.

    ව්‍යාපෘතියේ ආරම්භක උත්සවයට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු , ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ ,ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මු ,හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී රවී ජයවික්‍රම , හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් හි ප්‍රධාන උපායමාර්ගික නිලධාරි ග්‍රෙග් චෙන්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර, දකුණු වනජීවී කලාපයේ සහකාර අධ්‍යක්ෂ පී.ඒ චන්න සුරවීර, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කුමාර මහත්වරු සහ ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ගලප්පත්ති මහත්මියද , රාජ්‍ය නිළධාරින් මෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු ගම්වාසීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.