බස්නාහිර පළාත් භාර නව පොලිස් ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අද (09) වැඩ භාරගත්තේය.
ශ්‍රී ලංකා පොලිසියේ මේ වන විට සේවයේ නිරතව සිටින නිලධාරින් අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන්වැනියා වන්නේ සංජීව ධර්මරත්න මහතාය.
පානදුර සුමංගල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා කොළඹ නාලන්දා විදාලයෙන් ඔහු දිවිතීක අධ්‍යාපනය ලැබීය. ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය හදාරා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුලත්වන ඔහු ඉන් පිටවන්නේ භෞතික විද්‍යා උපාධිධාරියෙක් ලෙසිනි.
සංජීව ධර්මරත්න මහතා පොලිස් සේවයට එක්වන්නේ 1999 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙනි. කළුතර පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලබන ඔහු සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙසත්, පොලිස් අධිකාරීවරයෙක් ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙසත්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙසත් දිවයිනේ දෑම ප්‍රදේශයකම පාහේ සේවයේ නිරතව සිට ඇත. ධර්මරත්න මහතා ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම් ලබන්නේ 2020 වසරේදීය. උතුරු පළාත ඇතුළුව ඔහු දිවයිනේ පළාත් 06කම පොලිස් ප්‍රධානීයා ලෙස කටයුතු කර තිබීම විශේෂිතය.
යුද්ධය පැවති සමයේදී යුද ගැටුම් දරුණුවටම පැවති වකවානුවේ සේරුනුවර සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටි ඔහු එකල පොලිස් රාජකාරියට එහා ගොස් මායිම් ගම්මාන වල ගුරුවරුන් නොමැතිකමින් අසරණව සිටි පාසල් සිසු දරුවන්ට ගණිත සහ ඉංග්‍රීසිගුරුවරයෙක් ලෙසද කටයුතු කරනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවටද එක්ව සේවයෙකර ඇති ධර්මරත්න මහතා නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යෙය් සේවයේ නිරතව සිට ඇත. එම මෙහෙයුම් සඳහා සහභාගිවූ සාම සාධක බලකායේ කණ්ඩායම් නායකයා වශයෙන් රාජකාරිකරනු ලැබුවේද සංජීව ධර්මරත්න මහතාය. ඔහු සිය පිරිස හසුරුවමින් කළ සේවය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රශංසාව පවා හිමිව ඇත.
පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව ධර්මරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද, ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ පිළිබඳ විද්‍යාපති උපාධියද ලබාගෙන ඇත. ඕස්ට්‍රේලියාව, ජපානය, ස්කොට්ලන්තය, අමෙරිකාව, රුසියාව යන රටවල විශ්වවිද්‍යාල සහ පොලිස් විද්‍යා පීඨවල අධ්‍යයන හා පර්යේෂණ අත්දැකීම්ද ධර්මරත්න මහතා ලබා තිබීම විශේෂිතය.
මේ වන විට මෙරට පාසල් දරුවන් අතර ජනප්‍රියතම පොලිස් ශිෂ්‍යභට ව්‍යාපාරය විධිමත් ලෙස අන්තර් ජාතික ශිෂ්‍ය භට ප්‍රමිතීන්ට ගැලපෙන ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ පුරෝගාමීයා වන්නේ සංජීව ධර්මරත්න මහතාය.
නීතිය සැමට නොවෙනස්ව අකුරටම ක්‍රියාත්මක කිරීම සහ පොලිස් නිලධාරයන්ගේ විනය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළ ප්‍රසාදයට ලක්ව ඇති සංජීව ධර්මරත්න මහතා අපක්ෂපාතී ඝෘජු පොලිස් නිලධාරියෙක් ලෙස පොලිස් නිලධාරීන් අතර මෙන්ම ඔහු සේවයේ නිරත ප්‍රදේශවල මහජනතාව අතර ප්‍රසිද්ධය.