පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ඇතුළු පොලිස් ප්‍රධානීන් 07 දෙනෙකු ස්ථානමාරුකර ඇත.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ලබන 12 වෙනිදා සිට ක්‍රියාත්මක වන ලෙස මෙම ස්ථානමාරු නියෝගය වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත්කරනු ලැබීය.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා නැගෙනහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කරමින් කිලිනොච්චිය හා මුලතිව් දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකළ සමන්ත ද සිල්වා මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ නව සේනාවිධායක ලෙස පත්කර ඇත.
වයඹ පළාත් භාරව මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා දකුණු පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස ස්ථානමාරුකර තිබේ. වයඹ පළාතේ නව පොලිස් ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ නැගෙනහිර පළාත් පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතාය.
දකුණු පළාත්භාරව මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා ඌව පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස ස්ථානමාරුකර ඇත. ඌව පළාත් පොලිස් ප්‍රධානියා ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතා විශේෂ ආරක්ෂක දිසාවභාර පොලිස් ප්‍රධානියා ලෙසත් ස්ථානමාරුකර තිබේ.
වව්නියාව හා මන්නාරම දිසාව භාරව රාජකාරි ඉටුකරනු ලබන නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතා වව්නියාව සහ මන්නාරමට අමතරව කිලිනොච්ච් සහ මුලතිව් දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසද පත්කර ඇත.
මෙම ස්ථානමාරුවීම් නියෝගයන් නිකුත් කිරීමට පෙර බස්නාහිර පළාත් භාර නව පොලිස් ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පත්කරනු ලැබීය. බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස මෙතෙක් සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා සබරගමුව පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කරනු ලැබීය.
ඒ අනුව උතුර, උතුරු මැද සහ මධ්‍යම යන පළාත් හැරුණු කොට දිවයිනේ සෙසු සෑම පළාතකම පොලිස් ප්‍රධානීන්ට මේ වන විට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරු 100ට වැඩි පිරිසකටද ඉදිරියේ ස්ථානමාරුවීම් ලැබීමට නියමිතය. එහිදී වැඩි පිරිසකට ස්ථානාධිපතිධූර අහිමිවී තිබීම විශේෂිතය.