සිංගප්පූරුවේ ස්ථානගත NYK හි නව කලාපීය කළමනාකාර අධ්‍යක්ෂ හිරෝයුකි නෝමා මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. කලාපීය RORO ප්‍රධානී කෙයිසුකේ ෆුරුකාවා මහතා; සමූහ කළමනාකරණ කමිටු සාමාජික සාගර පීරිස් මහතා; NYK ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ජෙරමි ආනන්දප්පා මහතා සහ පාරිභෝගික සේවා සහ ව්‍යාපාර සංවර්ධන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධම්මික සම්පත් මහතා යන දූත පිරිස මෙම සංචාරයට එක්විය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා සහ ඔහුගේ වාණිජ, අලෙවිකරණ සහ මෙහෙයුම් කණ්ඩායම හමු වූ NYK නියෝජිත පිරිස, HIPG හි RORO මෙහෙයුම් පිළිබඳ සාකච්ඡා පැවැත්වීය. තම RORO අංගන ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් යොදමින් සිටින හම්බන්තොට ජාත්‍යන්තර වරාය, නෞකා පැමිණීම් ප්‍රමාණය තවත් වර්ධනය කර ගැනීම සඳහා ප්‍රධාන පියවර කිහිපයක් දියත් කිරීමටද අදහස් කරයි.
2022 දී දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 24.79 ක අගයක් වාර්තා කර ඇති ගෝලීය RORO නෞකා වෙළඳපළ, 2023 වසර තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 26.08 ක් සිට ඩොලර් බිලියන 39.12 දක්වා ඉහළ යනු ඇතැයි ක්ෂේත්‍ර විශේෂඥයින් ප්‍රක්ෂිප්ත කොට ඇත. ඒ අනුව, ශක්තිමත් අඛණ්ඩ වර්ධනයක් සහතික කරන වෙළඳපළ, වසර 2031 වන විට නව වරායන් කිහිපයකින්ම සේවා ලබා ගැනීම සඳහා විවෘත වනු ඇතැයි අපේක්ෂා කරයි.
HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පවසන්නේ, 2024 වසරේදී පෙර වසරට සාපේක්ෂව, වරායේ තොග භාණ්ඩ පරිමාවන් 33% ක වර්ධනයක් ලබා ඇති අතර එම සාධනය සමව පවත්වා ගනිමින් ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බවයි. “පසුගිය වසර කිහිපය තුළ සමස්ත ගෝලීය වෙළෙඳපොළේ 2-3% පමණ වූ සංයුක්ත වාර්ෂික වර්ධන වේගය සලකා බැලුවහොත්, වරාය ලබා ඇත්තේ දැවැන්ත ජයග්‍රහණයක්. අපගේ උපාය මාර්ගික පිහිටීම, විශිෂ්ටතම සේවාවන් සහ පළපුරුදු හැසිරවීම්, RORO ඒකක සඳහා ප්‍රමාණවත් අංගන ඉඩ පහසුකම්, මෙන්ම ඉතා අවම කොට ඇති අනතුරු තත්වයන් වැනි සාධක කිහිපයක් අපගේ සාර්ථකත්වයට ඉවහල් වනවා. අපගේ පළපුරුදු මෙහෙයුම් කාර්ය මණ්ඩලය, නැව් සැලසුම්කරණය සහ භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාකරණය කිරීම පිළිබඳ විශේෂඥයන් වන නිසා RORO ඒකක ඉතා පහසුවෙන් ගමනාන්ත වරායන්හි ගොඩ බෑමට කටයුතු කරයි. පුළුල් යටිතල පහසුකම් සහ පළපුරුද්ද සමඟින්, ගෝලීය නැව් කර්මාන්තය තුළ ක්‍රමයෙන් ඇති වන ඉල්ලුම් සියල්ලක්ම සපුරාලීමට අප සූදානම්ව සිටිනවා.”
ගෝලීය RORO නෞකා වෙළඳපොලේ උන්නතියට සාධක කිහිපයක් බලපා තිබෙනවා. කාර්යක්ෂමතාව, වැඩි ඉල්ලුම, වාහන සහ භාණ්ඩ සඳහා ආර්ථිකමය ප්‍රවාහන විසඳුම්, මෙන්ම ජාත්‍යන්තර වෙළඳාම සහ ගෝලීයකරණය ඉහළ යාම වැනි කරුණු කිහිපයක් වෙළඳපල වර්ධනයට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මින් අමතරව, අවම පාරිසරික බලපෑමෙන් යුත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවන උසස් නෞකා සැලසුම් තාක්‍ෂණයක එළිදැක්මත් සමග, මෙම අංශය කෙරෙහි උනන්දුව සහ ආයෝජන අවස්ථා වැඩි කර ගැනීමේ අවස්ථා උදා වනු ඇත. “උදාහරණයක් ලෙස, වර්තමාන ප්‍රවණතාවලට අනුකූලව, HIP හොඳින් ශක්තිමත් වී ඇති අතර විද්‍යුත් වාහන (EV) හැසිරවීමටද හැකියාව සහ පහසුකම් තිබෙනවා. ඒ සඳහා HIP හි සූදානම දැනටමත් ගෝලීය අවධානයට ලක්ව ඇති අතර මෑතකදී ඉලෙක්ට්‍රික් වාහන නිශ්පාදනය සඳහා ලොව පළමුවැන්නා වන BYD Auto සමාගම, අපගේ පහසුකම් පරීක්ෂා කිරීම සඳහා වරායට පැමිණියා,” යි HIPG හි වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසයි.
කර්මාන්තයේ දියුණුවත් සමඟ ප්‍රධාන සමාගම් නව නියාමන අවශ්‍යතා සහ පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලීමට ඔවුන්ගේ නෞකා සමුදායන් පුළුල් කිරීමට සහ දැනට ඔවුන් සතුව ඇති නෞකා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ඊට අනුකූලව අලුත් RORO නෞකා බොහොමයක් විමෝචනය අවම කිරීම සඳහා ද්විත්ව ඉන්ධන (ස්වභාවික ද්‍රව වායු (LNG) සහ පොසිල) සංකල්පය මත නිෂ්පාදනය කොට ඇත. මෙසේ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින RORO නෞකා වෙළඳපළ තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් HIP ලෝකයේ ඉහළම මට්ටමේ ප්‍රතිනැව්ගත කිරීමේ වරායන්ගෙන් එකක් වීමේ අරමුණ කරා ඉක්මන් පියවර තබයි.