ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අනුරාධපුරයට පැමිණි කුරුණෑගල ව්‍යාපාරික කාන්තාවක සතුව තිබුණු රුපියල් ලක්ෂ 64කට අධික රන් භාණ්ඩ හා මුදල් සොරාගැනීමක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.
මෙම ව්‍යාපාරික කාන්තාව කුරුණෑගල අස්වැද්දුමේ පදිංචිකාරියකි. ඇය සිය පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී මහ බෝධිය වන්දනා කිරීමට පැමිණ ඇත්තේ පසුගිය 31 වෙනිදාය. ඇය පැමිණි ජිප් රථය උඩමළුවට ඇතුළුවන ප්‍රධාන දොරටුව අසල රථ ගාලේ නවතා පෙරවරු 10.20ට පමණ උඩමළුවට ගොස් වන්දනා මාන කර නැවත වාහනට ගොඩවී ඇත්තේ සවස 2.00ට පමණය.
ව්‍යාපාරික කත ඇගේ රන් භාණ්ඩ හා මුදල් අත්බෑගයේ දමා වාහනයේ තබා ගොස් ඇත. එහි පවුම් 31කට වැඩි බරැකි රන් මාල 05ක්, අත් පළදනා 04ක්, පෙන්ඩන් 07ක්, මුදු 07ක්, කරාඹු ජෝඩු 06ක්, අමරෙිකානු ඩොලර් 500ක් හා රුපියල් ලක්ෂ 05ක මුදලක් තිබුණු බව ව්‍යාපාරික කාන්තාව පොලීසියට පවසා ඇත.
වාහනයේ පරිස්සමට තබා ගිය රන් භාණ්ඩ හා මුදල් අතුරුදන්ව ඇති බව ව්‍යාපාරික කාන්තාව දැන ගෙන ඇත්තේ අනුරාධපුරයේ සිට කුරුණෑගලට ගිය පසුව බවද පොලීසිය කියයි.
කුරුණෑගල සිට පැමිණ ව්‍යාපාරික කාන්තාව මේ ගැන පැමිණිල්ලක් කළ බවත් ඇය පවසන ආකාරයට අනුව අත්බෑගය වාහනයේ තිබී ඇත්තේ ඇය තබාගොස් ඇති ආකාරයටම බවත් අනුරාධපුර පොලීසිය සඳහන් කරයි.
මෙම වාහන නැවතුම් පොලේ නවතා ගිය වාහන වල තිබුණු වටිනාකියන භාණ්ඩ සොරා ගැනීම් මෙයට පෙරත් සිදුව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.