පොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙකුගේ මවක් නාන්නේරියේ නිවස තුළදී ඝාතනයකර ඇගේ කරාඹු දෙක ඇතුළු දේපොල සොරාගෙන අතුරුගිරියේ ගොඩනැගිලි ඉදිකිරීම් වැඩබිමක රැදී සිටි අපරාධකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නාන්නේරිය පොලීසිය ඊයේ (01) සමත්ව ඇත.
වයස අවුරුදු 26ක් වන සැකකරු නාන්නේරිය සයිරින්කුලමේ පදිංචිකරුවෙකි.
මෙම ඝාතනය පසුගිය 27 වෙනිදා රාත්‍රී කාලයේ සිදුව ඇති අතර පොලීසියට මේ ගැන වාර්තා වන්නේ 30 වෙනිදාය.
වයස අවුරුදු 62ක් වන තිදරු මවක් මෙහිදී ඝාතනය වී තිබේ. එකම පිරිමි දරුවා වන පොලිස් බුද්ධි නිලධාරී පුතා කොළඹ සේවයේ නිරතව සිටින අතර වැඩිමහල් දියණිය දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින්නීය. බාල දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන උපාධි අපේක්ෂිකාවකි.
නිවසේ තනිවම මව වාසයකර ඇති අතර ඒ බව දැන සොරා නිවසට පැන, ඇයට පොල්ලකින් පහරදී ඝාතනයකර දේපොල සොරාගෙන ඇති බව පොලීසිය කියයි. ඇය ඝාතනය වී සිට ඇත්තේ නිවසේ කාමරයකය. ඇගේ සිරුරේ ඇදුම් තිබී නැති අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සහ විමර්ශන තොරතුරු ඔස්සේ සැකකරනු ලබන්නේ ඇයට යම් අතවරයක්ද සැකකරුගෙන් සිදුව ඇති බවය.
සිය මවට දුරකථන ඇමතුම් ගත්තද ඇය ඊට ප්‍රතිචාර නොදක්වන්නට වූ බැවින් බුද්ධි අංශයේ පොලිස් නිලධාරියා ඔහු දන්නා කියන ත්‍රීරෝද රථ රියදුරෙකුට ඒ ගැන සොයා බලන ලෙස දැනුම්දී ඇති බවත් ඒ අනුව 30 වෙනිදා ඔහු නිවසට පැමිණ විපරම් කිරීමේදී පොලිස් නිලධාරියාගේ මව ඝාතනය වී ඇති බව දැක පොලීසියට දැනුම් දුන් බවත් නාන්නේරිය පොලීසිය සඳහන් කළේය.