මාරවිල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එච්. දමයන්ති මහත්මියව බිංගිරිය පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.
ඇය විසින් පැදවූ යතුරුපැදියේ ගැටී බිංගිරිය රෝහල ඉදිරිපිට ඇති සුදුඉර මතින් මාර්ගය හරහා ගමන්කරමින් සිටි කාන්තාවක් ඊයේ (13) සවස මියයාමක් හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය රෝහලේදී බවත් මෙම අනතුරින් ඇයද තුවාල ලබා රෝහල්ගතව සිටින බවත් පොලීසිය කියයි.
දෛනික රාජකාරි නිමකර නිවස බලා යමින් සිටියදී පොලිස් ස්ථානාධිපතිනිය මෙම අනතුරට මුහුණ දී තිබේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ රොෂානි දිල්රුක්ෂි නමැති (32 ) දෙදරු මවකි. අනතුරින් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි ඇයව බිංගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට මාරුකර යවා තිබේ. ඇය මියගොස් ඇත්තේ එහිදීය.
මෙම කාන්තාව බිංගිරිය රෝහලට පැමිණ රෝහල ඉදිරි පිට ඇති පෞද්ගලික ෆාමසියට යාම සදහා ප්‍රධාන මාර්ගය හරහා සුදු ඉර මතින් පාර මාරු වීමේදී මේ අනතුර සිදුව තිබේ .
මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් පවසන්නේ පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශන සිදුනොකරන බවය. එහෙත් පොලීසිය පවසන්නේ අපක්ෂපාතීව විමර්ශන සිදුකරන බවය.
පොලිස් නිලධාරිනියද අනතුරින් තුවාල ලබා සිටින්නීය. ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය රෝහලේදීය.