fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහවැස්සෙන් දිනක් තුළ 11ක් මරුට

    මහවැස්සෙන් දිනක් තුළ 11ක් මරුට

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද අලුයම 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ පුද්ගල මරණ 11ක් වාර්තා වී ඇති අතර සිව් දෙනෙක් අතුරුදන්ව ඇත.

    මෙම කාලය තුළ මුල්ම මරණ වාර්තාවන්නේ අවිස්සාවේල්ල පොලිස් වසමෙනි. මරණ තුනක් පුවක්පිටියෙන් වාර්තා වූ අතර එහිදී එකම පවුලේ තිදෙනෙක් මියගොස් ඇත.

    පුවක්පිටිට ජල ගැලීමක් ඊයේ අලුයම් කාලයේදී ඇතිවූ අවස්ථාවේදී ඩී.එස්. සේනානායක මාවතේ නිවසක නිදාගෙන සිටි පිරිසක් ඇහැරී පිටතට ඒමට දොරවල් ඇරගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් නිවසේ සිටි තිදෙනෙක්ම දියේ ගිලී මියගොස් ඇති බව අවිස්සාවේල්ල පොලීසිය සඳහන් කළේය.

    මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ එස්. ච්‍යෛලිංගම් (78), එස්. විශ්නේෂ්වරී (36), රාජා සුමින්සා (08) යන තිදෙනාය.

    අවිස්සාවේල්ලේ සිව් වැනි මරණය වාර්තාවී ඇත්තේ හේවායින්න කළුඅඳුර ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි කවීෂා විජේරත්න නැමැති දැරියයි. නිවස මතට පස් කන්දක් කඩා වැටීමෙන් පස් වලට යටවී මෙම දැරිවිය මියගොස් තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ අලුයම 3.40ට පමණය.

    හොරණ බොඩිලයින් ආයතනයේ සේනකයින් ප්‍රවාහනය කරමින් තිබුණු වැන් රථයක් මතට කිරිඇල්ල ඉඩගොඩ නගරයේ දී පෙරේදා (01) රාත්‍රී 1145ට පමණ බෝගසක් කඩා වැටීමෙන් වෑන් රථයේ සිටි සිව් දෙනෙක් තුවාල ලබා ඇත. රෝහල්ගත කළ ඒ අය අතර සිටි මැදගලතුර, ගල්කරා කන්දේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් ඊයේ මියගොස් තිබේ.

    ගම්පොල අටබාගේ ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන 66 හැවිරිදි හේවගේ ගිමාරා ද සිල්වා නැමැති කාන්තාව ද ඊයේ උදෑසන දියේ ගසාගෙන ගොස් මියගොස් ඇත.

    මෙම කාන්තාව නිවස ඉදිරිපිට අතුගාමින් සිටියදී ඒ ආසන්නයෙන් ගලා බසින අටබාගේ ඔය එකවරම පිටාර ගැනීමෙන් ඇය දියේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි. ඇගේ මළ සිරුර හමුවී ඇත්තේ මීටර් 100ක් පමණ දුර ගසාගෙන ගොස් තිබියදීය.

    ඇලපාත උඩනිරිඇල්ල ගල්ලෙනකන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අමන්දි කල්පනා නැමැත්තියද දියේ ගසාගෙන ගොස් ඊයේ මියගොස් ඇත. ඇය ගල්ලෙනකන්ද ප්‍රදේශයේ දොල පහරක් හරහා ගමන් කිරීමේදී ජල පහරට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලී මියගොස් ඇති බව ඇලපාත පොලීසිය සඳහන් කළේය.

    දෙයියන්දරින් ඊයේ මරණ දෙකක් වාර්තා වූ අතර එම මරණ දෙකම සිදුවන්නේ එකම ස්ථානයකදීය. ඒ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී ඊට යටවීමෙනි. දෙනගම පල්ලේවෙල පිහිටි නිවසක් මත ඊයේ අලුයම් කාලයේදී පස් කන්ද කැඩා වැටීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 27ක් වන කසුන් සඳමාල් සහ 20 හැවිරිදි නුවන් සමීර යන දෙදෙනාය.

    පැල්මඩුල්ලෙන්ද ඊයේ මරණයක් වාර්තාවී ඇත. මියගොස් ඇත්තේ මිදලන පදිංචි 56 හැවිරිදි නලින් සමරකෝන් නැමැති අයයි. මරක්කල ඇල්ලේ සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලී ඔහු මියගොස් ඇත.

    කැලණි ගඟ පිටාර ගැනීමෙන් පූගොඩ පදිංචි පුද්ගලයෙක් සැඩ පහරකට හසුවී මියගොස් තිබේ. පූගොඩ උඩකණම්පැල්ල පදිංචි 63 හැවිරිදි ආර්.පී. පෙරේරා මෙසේ මියගොස් ඇත. නිවසට ජල ගැලීම හේතුවෙන් වටිනා බඩු මුට්ටු කිහිපයක් වෙනත් ස්ථානයකට දියේ බැස රැගෙන යමින් සිටියදී ඔහු සැඩ පහරට හසුවී තිබේ.

    අතුරුදන් දෙදෙනෙක් හිනිඳුම පොලිස් වසමේ තවලම පදිංචිකරුවන්ය. ගිංගඟ පිටාර ගැනීමෙන් සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටින්නේ ඩී.ජී. රංජිත් නැමැති 52 හැවිරිදි අයෙක් සහ ශාන්ත කුමාර් නැමැති 23 හැවිරිද පුද්ගලයෙකි.

    කඹුරුපිටියේද පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්ව ඇත. ඌරාපොල ග්‍රමසේවා වසමේ දී සැඩ පහරට හසුවී ඔවුන් දෙදෙනා අතුරුදන්ව ඇත. උයන්ගොඩ පදිංචි අවුරුදු 17ක් වයසැති කවිඳු තරංග සහ පිටමුල්ලේ පදිංචි 19 හැවිරිදි තරිඳු සම්පත් මෙසේ අතුරුදන් සිටිති.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.