fbpx
තවත්
    මුල් පිටුවspecialදේශීය ජනක්‍රීඩා තුළින් පුද්ගල සමාජානුයෝජනය කෙරෙහි ඇති කළ හැකි බලපෑම

    දේශීය ජනක්‍රීඩා තුළින් පුද්ගල සමාජානුයෝජනය කෙරෙහි ඇති කළ හැකි බලපෑම

    මානව සංහතියේ ආරම්භය සිදුවූයේ කවරදාකද, එතැන් පටන් ම මිනිසා ක්‍රීඩාශීලී සත්වයෙකු බව ලොව ඉපැරණි ශිෂ්ටාචාර පිළිබඳ විමසීමෙන් වුව ද පැහැදිලි කරගත හැකි ය. මානවයාගේ දෛනික ජීවන චර්යාවන් ඇසුරින් උපත ලැබූ ක්‍රීඩා ද ලොව බහුල ය. දිවීම, පැනීම,කෙටීම, හඹායාම, සෙවීම ආදී බොහෝ දෛනික ජීවන චර්යා ඇසුරින් ක්‍රීඩා උපත ලබා ඇති බව ඕනෑම රටක ජනක්‍රීඩා දෙස විමසිල්ලෙන් බලන විට පෙනේ. නමුත්,පසුකාලීන ව සිදුවූ විවිධ සංස්කෘතික පරිණාමයන්,ආක්‍රමණ-සංක්‍රමණ ආදී සමාජයීය හා භෞතික තත්වයන් ට අනුකූල ව විවිධ ජාතීන් රටවල් හා සංස්කෘතීන් ට අනන්‍ය වන ආකාරයෙන් මෙම ක්‍රීඩා හැඩගස්වා ගත් බව ත් පෙනී යයි.

    ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල බොහෝ සෙයින් පැතිර පවතින ජනක්‍රීඩා විශාල ප්‍රමාණයක් ඇති බව ක්ෂේත්‍ර පර්යේෂණ හා පොත පත පරිශීලනයෙන් ද පැහැදිලි වේ.ජනක්‍රීඩා විවිධ විද්වතුන් විසින් විවිධ ආකාරයට වර්ග කර දක්වා ඇත. එහෙත් පොදුවේ ගත් කල එම ජනක්‍රීඩා පහත ආකාරයට වර්ග කර දැක්විය හැකි ය.එනම්:

    1. ක්‍රීඩාව සිදුවන අවකාශය අනුව – [ ගෘහස්ත ක්‍රීඩා – එලිමහන් ක්‍රීඩා ]
    2. ස්ත්‍රී පුරුෂ භාවය අනුව – [ වැඩිහිටි (ස්ත්‍රී/පුරුෂ) – ළමා (ස්ත්‍රී/පුරුෂ) – මිශ්‍ර(දෙපාර්ශ්වය ම දායක වන) ]
    3. ක්‍රීඩාවේ අරමුණ අනුව – [ විනෝද ජනක ක්‍රීඩා – ආගමික ක්‍රීඩා – ත්‍රාසජනක ක්‍රීඩා ]
    4. ක්‍රීඩාවේ සෞන්දර්යාත්මක අගය අනුව – [ ගායනා සහිත – ගායනා රහිත ]

    මේ අනුව පෙනී යන්නේ මිනිසා ශිෂ්ටාචාර ගත වීමත් සමග ක්‍රීඩාවෙන් ඉටුකර ගැනීම ට අපේක්ෂා කලේ හුදු කායික ව්‍යායාමය පමණක් නොවන බවයි.ඉන් ඔබ්බට ගිය පුළුල් මානසික හා සමාජයීය අරමුණු පෙරදැරිව ද මෙම ජනක්‍රීඩා නිර්මාණය වී ඇත.පුද්ගල සමාජානුයෝජනය ඒ අතරින් කැපී පෙනෙන සමාජ අරමුණකි.

    සමාජානුයෝජනය යන්නෙන් කුමක් අදහස් වේ දැයි විමසුව හොත් බොහෝ සමාජ විද්‍යාඥයින් එයට විවිධ අර්ථකථන සපයා ඇත.ඒ සියල්ල විශ්ලේෂණය කල විට ලබාගත හැකි සරල අදහසක් පමණක් මෙහිදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වනු ඇත.
    “ජීව විද්‍යාත්මක ව සාමාන්‍ය සත්වයෙකු ලෙස උපත ලබන ළදරුවා ,සමාජයීය මිනිසෙකු බවට පත් කරන ක්‍රියාවලිය සමාජානුයෝජනය යි.මානවයා සිය සමාජය ට අනුකූල ව ජීවත් වීමට හුරු කරවන ක්‍රියාවලියක් මෙහි දී සිදුවේ”.(ගලගමගේ2014:22)

    ඒ අනුව මෙම ක්‍රියාවලිය සමාජයෙන් සමාජය ට වෙනස් වන අතර ම අදාළ සමාජයේ සංස්කෘතිය සමග ද තදින් බද්ධ වී සිටියි.සමාජානුයෝජන සංකල්පය තුළ අවධාරණය කෙරෙන ප්‍රධාන ක්ෂේත්‍රයන් කිහිපයකි.එනම් :

    ■ සංස්කෘතිය පවරා දීම
    ■ ජීවත්වීම ට හුරු කරවීම
    ■ ඉගෙනීම යන ප්‍රධාන ක්ෂේත්‍රයන් වේ.

    ශ්‍රී ලංකාවේ ජනක්‍රීඩා ඔස්සේ මෙකී සමාජ අරමුණු ඉටුකර ගැනීම උදෙසා ලැබී ඇති පිටුබලය හා එහි කාලීන සමාජ අගය විමසීම මෙම ලිපියෙ හි අරමුණ යි.

    සංස්කෘතිය යනු සමාජ උරුමයකි. එමෙන්ම මිනිසා අනිත් සතුන් ගෙන් වෙන් කොට සැලකිය හැක්කේ ද ඔහු සතු ව සංස්කෘතියක් පවතින නිසාවෙනි. ජනක්‍රීඩාව ද එබඳු වැදගත් සමාජ උරුමයකි. එබැවින් ම එය සංස්කෘතියේ වැදගත් අංගය කි. E.B.tylor නම් බ්‍රිතාන්‍ය ජාතික සමාජ විද්‍යාඥයා විසින් රචිත primary culture (ප්‍රාථමික සංස්කෘතිය) නම් කෘතියේ දක්වන ලද සංස්සකෘතිය පිළිබඳ නිර්වචනය බොහෝ පිලිගැනීමට ලක් වූවකි. එනම් “දැනුම, විශ්වාස, කලා, සදාචාර, දහම්, සිරිත් හා මිනිසා විසින් සමාජයේ සාමාජිකයෙකු වශයෙන් ලබා ගන්නා අනිත් ඕනෑම හැකියාවන් හා පුරුදු වල සමස්ථ සංකීර්ණය” සංස්කෘතිය ලෙස හැඳින්විය හැකි ය. (පෙරේරා :2002,31)

    කිසියම් සමාජයක සංස්කෘතිය භෞතික මෙන් ම අභෞතික ආකාරයෙන් ද පවතියි. එහෙත් මෙම අංග දෙකෙන් ඇසට නොපෙනෙන අභෞතික සංස්කෘතිය තුළ ඇති වැදගත් අංශ දෙකක් වන්නේ මානව අදහස් (idea) හා ධර්මතාවන් (norms) ය.(ගලගමගේ 2016:50/51) ගැමි සමාජ වල පැවති අදහස් කලක් තිස්සේ පැවත ඒමෙන් ජන සම්මත වූ අදහස් ය.එමෙන් ම තමා විසින් සමාජයේ ජීවත් වීමේදී කල යුතු හා නොකල යුතු දේ මොනවා දැයි වටහා දීම ධර්මතා මගින් සිදුවේ.මෙම පාරම්පරික ජන සම්මතයන් ජනක්‍රීඩාව ඔස්සේ අනාගත පරපුර වෙත පවරා දීම ජනක්‍රීඩාවේ එක් වැදගත් අරමුණක් විය.

    බොහෝ ජන ක්‍රීඩා ආරම්භ කෙරෙන්නේ ත්‍රිවිධ රත්නයෙන් අවසර ගෙන දෙවි පිහිට පැතීමෙනි.ලංකාවේ ගැමි ජන සමාජ තුළ මුල්බැසගත් ආගමික අදහස් හා ඒ හා බැඳි වත් පිළිවෙත් වලට මුල් තැන දීම සෑම අවස්ථාවක ම දැකගත හැකිය.ආගමික පසුබිමක් සහිත (පත්තිනි ඇදහිල්ල) ජනක්‍රීඩා ලෙස සැලකෙන පොරපොල් ගැසීම, අංකෙළිය, ඔන්චිලි පැදීම වැනි ක්‍රීඩා වලදී ද, ලී කෙළිය ,කළගෙඩි සෙල්ලම වැනි ක්‍රීඩා ද ආරම්භ කෙරෙන්නේ දෙවියන් බුදුන් සිහි කිරීමෙනි.


    පොරපොල් ගැසීම
    වදුරු වසංගත ලෙඩ දුරලනවා
    අfඔන් මලෙන් පත්තිනි උපදිනවා
    සිරි පතුලට පිං ඔප්පු කරනවා
    පොරපොල් කෙළිය ට වරම් ලැබෙනවා

    අං කෙළිය – සියලු වරම් ලැබුනයි දෙවිදුන් හට – සියලුම දෙන බාරයි ඔබෙ නාමෙට

    කළගෙඩි – මුනිඳුන් සඳහන් කර හැම වේලේ – දෙවියන් සිහිකර ගනිමි දෙවේලේ

    ඔන්චිලි පැදීම
    සරණයි සරණයි බුද්ධං සරණයි
    සරණයි සරණයි ධම්මං සරණයි
    සරණයි සරණයි සංඝං සරණයි
    සරණයි සරණයි මේ තුන් සරණයි

    ක්‍රීඩා කිරීමේ දී එකතු වන කණ්ඩායමක් තුළ එම ක්‍රීඩාව හෝ ක්‍රීඩා පිළිබඳ පොදු එකඟතාවන් හා නීති රීති මාලාවක් ඇත.එම නීති රීති හා එකඟතාවන් ට අනුකූල ව ක්‍රීඩාව කිරීමට සියලු දෙනා එකඟ විය යුතු අතර, එසේ නොවන්නන් ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකත්වය දැරීමට නුසුදුස්සෝ වූහ.

    තාච්චි පැනීම – මුදුන් ඉර රකින්නා(තාච්චි)තමාගේ ඉරි මත දුවමින් අතට හසුවන මානයේ කෙනෙක් සිටියහොත් ඔහුට පහර දෙයි.එමෙන් ම එහි සිට හරහා පනින ප්‍රති පිලේ ඕනෑම කෙනෙකුට පහර දීමට ද තාච්චි ට අවසර ලැබේ.එසේ පහර කන ප්‍රති පිලේ අය පරාජිතයෝ වෙති.තාච්චි ගෙන් පහර නොකා සිටීම ජයග්‍රහණය ට හේතු වේ.

    හැංගි මුත්තන් – හැංගි මුත්තා විසින් පළමුව සොයාගන්නා ළමයා පරාද වෙයි. එවිට ඊලඟ වාරයේ හැංගි මුත්තා ඔහු ය.

    ගස් කොටු පැනීම – ක්‍රීඩාවේ මුලින් ම තෝරාගන්නා ලද පිස්සා (ගස් වල අයිතියක් නැති මැද සිටින ළමයා හඳුන්වන්නේ මේ නමිනි)ගෙන් පසු දැවීමෙන් පිස්සන් බවට පත්වන සෑම ක්‍රීඩකයෙකු ගේ ම එක් වාරයකට එක් ඉර බැගින් නළලේ ඉරි අඳියි.වැඩියෙන් ම ඉරි ප්‍රමාණයක් නළලේ ඇඳ ගත් තැනැත්තා හොඳ ම පරාජිතයා ය.නළලේ ඉරි කිසිවක් නැති නම් ඔහු විශිෂ්ඨ ම ජයග්‍රාහකයා ය.
    (මුවන්දෙනිය2014:106/116/138)

    මේ ආකාරයට ක්‍රීඩාව තුළ සාමූහික බව ,ඉවසීම හා දරාගැනීම මෙන් ම සුදුසු අවස්ථාවේ හොඳම තීරණය ගැනීම ආදී විවිධ කුසලතා ප්‍රගුණ කිරීමට ද හැකියාව ලැබේ.
    සමාජානුයෝජනයේ මූලික නීති 04ක් ඇති බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.එනම්,

    ■ පුද්ගල සමූහයේ මූලික නීති උගත යුතු බව
    ■ සමාජ සමූහයේ ප්ළිගත් සම්මතයන් ට හැම විට ම අනුගත විය යුතු බව
    ■ සංස්කෘතියේ අත්‍යවශ්‍ය ශිල්ප ක්‍රම පිළිබඳ දැනුමක් ලබා ගත යුතු බව
    ■ පුද්ගලයා තමාට හිමි කාර්යභාරය කුමක් ද යන්න නිශ්චිත ව දැනගත යුතු ය. (siyapata.blogspot.com)

    ක්‍රීඩාවේ දී තම සම වයස් කණ්ඩායමක් සමග ක්‍රීඩාවේ නියැලෙන දරුවා එම ක්‍රීඩාවට අදාළ මූලික නීති හා සම්මතයන් ට අනුගත වෙමින් තම කාර්යභාරය නිශ්චිතව ම පැහැදිලි කරගන්නා අතර ම, පුළුල් සමාජයේ සාමාජිකයෙකු වූ විට එම පුරුදු තම සමාජ ජීවිතය ට ආදේශ කර ගැනීම ට නිතැතින් ම පෙළඹේ.

    ගැමි ජන සමාජයන් හි මූලික සමාජ පදනම වූයේ සාමූහික බව හා එකමුතු බව යි.කුඹුරේ නෙලුම ට හා ගොයම් කැපුම ට, ගොයම් පෑගීම ට පමණක් නොව මරණෙට මගුලක ට සැම එකා වන් ව එකිනෙකා වෙනුවෙන් කැපවීම හා උදව් උපකාර කර ගැනීම ගැමි ජන සමාජයේ අනිවාර්ය අංගයක් විය. එම අත්‍යවශ්‍ය ගුණාංග පුහුණු කිරීමේ මාධ්‍යයක් ලෙස ද ජන ක්‍රීඩාව ක්‍රියාත්මක වී ඇත. එළුවන් කෑම වැනි ජන ක්‍රීඩා මීට කදිම නිදසුන් ය.


    එළු හිමියෝ කොට්යාගෙන් තම එළුවන් රැකගැනීම සඳහා ක්‍රියාත්මක වන ආකාරය මෙම ක්‍රීඩාව තුළ මතුපිටින් පෙනෙයි. නමුත් එහි සමාජ අර්ථය ඊට වඩා පුළුල් ය. එළු හිමියන් ගෙන් ගම් වැසියන් ද, එළුවන් ගෙන් තම වස්තුව හා සංස්කෘතිය ද, කොටියාගෙන් එම ජන සමාජයට එල්ල විය හැකි විවිධ බාහිර උපද්‍රව හා අභියෝග මෙහි සංකේතවත් කෙරේ. එවැනි උපද්‍රව වලින් ආරක්ෂා වීමට නම් එකාවන් ව කටයුතු කළ යුතු බව මෙම ක්‍රීඩාවෙන් දරුවන් ගේ මනස තුළ තැන්පත් කෙරෙන ප්‍රබල සංකල්පයයි.අංකෙළිය, පොරපොල් ක්‍රීඩාව වැනි ආගමික පසුබිමක් සහිත ක්‍රීඩාවලින් වුව ද සාමූහිකත්වය අගය කෙරෙමින් සියලු වත් පිළවෙත් ක්‍රියාත්මක වේ. මේ ආකාරය ට බෙහෝ ජන ක්‍රීඩා සාමූහිකත්වය හා සහජීවනය අගය කළ ක්‍රීඩාවන් වෙයි. මේ නිසාවෙන් ම තනි තනි ව සිදු කෙරෙන ජන ක්‍රීඩා නැති තරම් ය.අවම වශයෙන් දෙදෙනෙකු වත් අවශ්‍ය වේ.එය ද දේශීය ජන ක්‍රීඩාවන් හි දැකගත හැකි වැදගත් ලක්ෂණය කි.

    තමා ජීවත් වන පරිසරයේ සමාජ සංස්කෘතික තත්වයන් ට අනුගත වීමට පහසු ආකාරයේ ජන ක්‍රීඩා පැරණි ගැමි සමජය තුළ ව්‍යාප්ත ව පැවතිණි.කෘෂි කර්මික අර්ථ ක්‍රමයක් තුළ වර්ධනය වූ ජලක්‍රීඩා මීට හොඳ නිදසුනකි.එහෙත් විවිධ සතුරු ආක්‍රමණ නිසා නැගෙනහිර ට හා මධ්‍යම කඳුකරය දෙසට රාජධානි සංක්‍රමණය වීමට පටන් ගැනීමත් සමග එම ජනක්‍රීඩා ක්‍රමයෙන් අභාවයට ගියේය.උඩරට රාජධානි අවධිය නිතර පර සතුරු ආක්‍රමණ වලට ලක් වූ කාල වකවානුවකි.එකල වැසියන් ට තම ආත්මාරක්ෂාව සඳහා මුෂ්ඨි පොර,අංගම් පොර,කරනම්,කඩු ශිල්පය ආදී සටන් ක්‍රම ප්‍රගුණ කිරීම (විශේෂයෙන් පිරිමි පාර්ශ්වය )අත්‍යවශ්‍ය ජීවන නිපුණතාවක් වී තිබිණ.එහෙත් බ්‍රිතාන්‍ය මැදිහත් වීමෙන් පසු කාලීන ව මෙම ක්‍රීඩා ප්‍රගුණ කිරීම තහනම් කෙරිණි.මෙම සටන් ක්‍රම අනාගත පරම්පරාව වෙත ගෙන යාමේ ප්‍රබල අභියෝගය ජයගැනීමට භාවිත කළ උපක්‍රම නිසා ලී කෙළිය, කණා මුට්ටි බිඳීම,කොට්ටා පොර ආදී ජන ක්‍රීඩා බිහි වීම ට පදනම සැකසිණ.පෙරදිග ජනක්‍රීඩා පිළිබඳ පර්යේෂණයක යෙදුණු මහාචාර්ය කැස්පරිස් ප්‍රමුඛ පිරිස පෙන්වා දුන් පරිසරය අනුව ක්‍රීඩා නිර්මාණය වන්නේ යයන මතය හනුවර යුගයේ වැඩි වර්ධනය වූ ජනක්‍රීඩා දෙස බැලීමෙන් ම සනාථ වේ. (සේනාරත්න 2009:පෙරවදන)


    සමාජානුයෝජන ක්‍රියාවලිය උපතේ සිට මරණය දක්වා ම අඛණ්ඩ ව සිදුවන යාවජීව ක්‍රියාවලියකි.එහෙත් ඒ තුළ වැඩි බරක් යෙදෙනුයේ පුද්ගලයෙකු ගේ ළමා කාලය තුළ බව සමාජ විද්‍යාඥයින්ගේ මතය යි.එබැවින් කුඩා කල පිරිසක් සමග ලබන මෙම අත්දැකීම ශාරීරික සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා පමණක් නොව අනාගත පුරවැසියෙකු තුළ තහවුරු විය යුතු වැදගත් සමාජ පුරුදු ඇති කරගැනීමෙහි අදිසි සහයෝගීතාවක් ද දක්වන බවයි.
    දරුවකු තුළ කායික වර්ධනය ට සමගාමී ව සිදුවන මානසික වර්ධනය ට අදාළ වැදගත් අංශයකි බුද්ධි වර්ධනය.කායික ශක්තිය උරගා බැලෙන ජනක්‍රීඩා මෙන් ම බුද්ධි මට්ටම උරගා බැලෙන , බුද්ධි වර්ධනය ට අනුබල සපයන ජනක්‍රීඩා ද දුලබ නොවේ.දාං ඇදීම,නෙරංචි ඇදීම(දාං ඇදීම ට සමාන ය.එහෙත් ඉත්තන් ඇදීම ඉඳුරා වෙනස් ය.)යොන් මැරිල්ල ආදිය එවැනි ජන ක්‍රීඩා වලින් කිහිපයක් පමණි.

    මේ අනුව පැරණි ජනක්‍රීඩා සකස් වී තිබුණේ ශාරීරික ව්‍යායාමය හෝ විනෝදය ලබාගැනීම උදෙසා පමණක් නොවේ.

    ■ සාමූහික බව
    ■ ජය පැරදුම එක සේ විඳාදරාගැනීම
    ■ ඉවසීම
    ■ අන් අයගේ මතයට ගරු කිරීම
    ■ යුක්ති ගරුක බව
    ■ අවංක වීම

    ආදී පුද්ගලයෙකු ට සිය සමාජ ජීවිතය යහපත් ව පවත්වා ගෙන යාමට අවැසි වැදගත් සමාජ පුරුදු කෙරෙහි කුඩා කල සිට ම යම් කිසි පුහුණුවක් ලබාදීම ඔස්සේ,සිය සංස්කෘතික අනන්‍යතාවන් අනාගතය වෙත ගෙන යාමටත්,පුද්ගලයා නිවැරදි ව තමා ජීවත් වන ජන සමූහය තුළ සමාජානුයෝජනය කිරීමේ වැදගත් කාර්යභාරයක් ජනක්‍රීඩාවෙන් ඉටු වූ බව සනාථ වේ.


    පසු විපරම

    වත්මනෙහි අප ජීවත් වන්නේ දැනුම හා තාක්ෂණය මූලික කොටගත් සමාජ ක්‍රමයක් තුළ ය.21වන සියවසෙ හි සාර්ථක පුද්ගලයෙකු වීමට නම් තමා තුළ වර්ධනය කරගත යුතු මූලික කුසලතා 04ක් අධ්‍යාපන සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.එනම්:

    ■ එකමුතු ව වැඩ කිරීම
    ■ මනා සන්නිවේදන කුෂලතා
    ■ නිර්මාණාත්මක චින්තනය
    ■ විවේචනාත්මක චින්තනය යන ගුණාංගයන් ය.

    එමෙන් ම අන් අය සමග සහජීවනයෙන් ජීවත් වීම ත්,දිවි පැවැත්ම සඳහා ත් ඉගෙනීම පදනම් විය යුතු බව ද පෙන්වා දෙති.

    පවත්නා සමාජ තත්වයන් ට අනුගත වීම සඳහා ජනක්‍රීඩා වැනි නොවිධිමත් අධ්‍යාපන ක්‍රම පැරණි ග්‍රාමීය ජන සමාජ වල ක්‍රියාත්මක වුව ද, වත්මනෙහි එය කොතෙක් දුරට ඉටුවේදැයි විමසීම ට සිදුවී ඇත්තේ නූතන සමාජ විෂමාචාර බෙහෙවින් ව්‍යාප්ත වෙම්න් පවතින බැවිනි.සමාජ විරෝධි කටයුතු වලට පුද්ගලයින් පෙළඔීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ළමා වයසේ සිට ම පුද්ගලයා තුළ සිදු විය යුතු සමාජානුයෝජන ක්‍රියාවලියේ අඩු ලුහුඬුකම් නිසා බව තේරුම් ගැනීම වැදගත් ය.පවත්කා සමාජ තත්වයන් යටතේ දරුවන් ට දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද වලට හුරුවීමට සිදුවී ඇත.එසේ හෙයින් ජංගම දුරකථනය හා පරිගණකය ළමා ලෝකයේ වීරයන් බවට පත්වෙමින් ඇත.වත්මනෙ හි සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින පරිගණක ජාල ගත ක්‍රීඩා (ජදපචමඑැර ට්පැි )වලට දරුවන් සීඝ්‍රයෙන් ඇබ්බැහි වීම මෙහි භයානක අතුරු ප්‍රතිඵලයකි.පරිගණකය ඇසුරින් ක්‍රීඩා කිරීම වැරදි දෙයක් නොවුණ ද,ඊට ඇබ්බැහි වීම බරපතල සමාජ උවදුරක් වී හමාර ය.මේ නිසා මුරණ්ඩු දරුවන් ,සිය දිවි හානි කරගත් දරුවන් හා විවිධ ස්නායු රෝග වලට ගොදුරු වූ දරුවන් පිළිබඳ පුවත් වත්මනෙ හි සුලබ ව අසන්නට ලැබේ.


    පවතින සමාජ තත්වයන් මත තම දරුවන් අසල්වැසි නිවසක ට යැවීමට පවා බොහෝ දෙමව්පියෝ අකමැති වෙති.එවන් තත්වයක් තුළ හුදෙකලා වන දරුවා පරිගණකය හෝ ජංගම දුරකතනය සමග බිත්ති හතරට කොටු වෙයි.එහි ප්‍රතිඵල අත්විඳින්න ට සිදුවන්නේ තවත් දශකයක් දෙකක් ගත වී එම දරුපරපුර වැඩිහිටියන් බවට පත් වී සමාජයේ පෙරගමන් කරුවන් වූ පසුව ය.

    ■ භාෂණය හා සන්නිවේදන හැකියා දුර්වල වීම
    ■ සහකම්පනය අඩු වීම
    ■ ඉවසීම හා දරාගැනීමේ හැකියාවන් හීන වීම
    ■ විවිධ මානසික හා ස්නායු ආබාධ
    ■ ආත්මාර්ථකාමී බව
    ■ සාමූහික ව කටයුතු කිරීමේ දුර්වල පෞර්ෂයන්

    ආදී ලක්ෂණ වලින් හෙබි දුර්වල සමාජ සත්වයින් අනාගතයේ බිහිවීමේ අවදානම අප ඉදිරියේ පෙනෙනේනට තිබේ. එබැවින් නූතන ළමා පරපුර මෙම සමාජ ව්‍යසනයෙන් මුදවා ගැනීමේ බරපතළ අභියෝගය දරුවන් සිටින දෙමාපියන් පමණක් නොව ,මුළු මහත් සමාජය විසින් ම එක්ව ජයගත යුතු අභියෝගයකි.සිය අක්මුල් සිඳ නොගත් ,අනන්‍යතාවයකින් යුතු වටිනා සමාජ සත්වයෙකු නිර්මාණය කරගැනීමේ දී දේශීය පාරම්පරික ජන ක්‍රීඩා වැනි වටිනා දායාද ළමා පරපුර අතරට වඩ වඩා ත් ගෙන ගොස් ,ජනප්‍රිය කරවීම ඒ වෙනුවෙන් කළ හැකි වැදගත් සමාජ සත්කාර්යයක් බව හඳුනා ගැනීම අකාගේ ත් අවධානය ට ලක් විය යුතු නොවේ ද?

    පරිශීලිත මූලාශ්‍ර

    1. ගලගමගේ ,එස්(2014) අධ්‍යාපනයේ සමාජ විද්‍යාත්මක පදනම – කර්තෘ ප්‍රකාශන
    2. ගලගමගේ,එස්(2016) අධ්‍යාපන සමාජ විද්‍යා මූලධර්ම – කර්තෘ ප්‍රකාශන
    3. පෙරේරා,බී.ඒ.ටෙනිසන් (2002)සමාජ විද්‍යාව උපාධි අත්වැල 1 – කර්තෘ ප්‍රකාශන
    4. මුවන්දෙනිය,රෝහිණී කුමාරි (2014) හෙළ ජන කෙළි සෙල්ලම් – එස්.ගොඩගේ සහ සහෝදරයෝ
    5. සේනාරත්න,පී.එම් (2009) ශ්‍රී ලංකාවේ ජනක්‍රීඩා – එම්.ඩී.ගුණසේන සහ සමාගම

    අන්තර්ජාල සබැඳි

    1. siyapata.blogspot.com

    ප්‍රදීප් මුතුකුඩආරච්චි

    ආරාධිත කථිකාචාර්ය (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) BA (Hons) USJP MA(mMusic) UKLN PGDE (Merit) UOC ශ්‍රී ලංකා ගුරු සේවය(හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය )

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ප්‍රදීප් මුතුකුඩආරච්චි
    ආරාධිත කථිකාචාර්ය (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) BA (Hons) USJP MA(mMusic) UKLN PGDE (Merit) UOC ශ්‍රී ලංකා ගුරු සේවය(හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය )

    3 Comments

    ඔබේ අදහස් දක්වන්න.