fbpx
තවත්
    මුල් පිටුවඅමරබන්දුගේ වාඩියමොළේ අංශු මාත්‍රයක්වත් තියෙන දෙයක් කළානං

    මොළේ අංශු මාත්‍රයක්වත් තියෙන දෙයක් කළානං

    අමරබන්දු රූපවාහිනිය නරඹන්නේ නැත. කොටින්ම එහි විකාශනය වන රූප ඔහුට දිරවන්නේ නැත. ඒ වෙනුවට හෙතම කරන්නේ බැටරි හතරේ යුනික් රේඩියෝවට පිල් පඩියේ හිදම සවන් දෙන එකය. දිනපතා සවස ප්‍රවෘත්ති වලට සවන් දෙනවාට අමතරව ඔහු රේඩියෝව අතට ගන්නේ ශ්‍රී ලංකාව සහභාගීවන ක්‍රිකට් තරගයකට සවන් දීමට පමණි.

    “ඔව් මේ අවස්ථාවේදී මෙහෙදි හසන් තවත් කඩුල්ලක් ලබා ගන්නවා,  ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුව බංග්ලාදේශ පන්දු යවන්නන් ඉදිරියේ අන්ත අසරණ වී සිටිනු අප දකින්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටදැයි සැක පල වෙනවා” ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයාගේ ස්වර‍යේද ගැබ්ව තිබුණේ ලංකා ක්‍රිකට් බංග්ලාදේශය හමුවේ පිට පිට දෙවැනිවරටත් පරාජයට පත්වීමේ අතිශය ශෝකාකූල හඩක්ය.

    “චෑහ් මොන කසිකබල් ක්‍රිකටයක්ද අම්මපා මෙවුන් සෙල්ලම් කරන්නේ, බංගලියො ටික බොලේ දාන්න කලිං අපේ උන් ටික අකුලගෙන ක්‍රීඩාගාරෙට ගාටනවනෙ. කේන්තියෙන් කියමින් අමරබන්දු රේඩියෝව නිවා දැමීය.

    “එක්කො මුළු ලෝකෙම අපේ උන්ට වඩා ගව ගාණක් ක්‍රිකට් වළිං ඉස්සරහට ගාටලා..එහෙමත් නැතිනං අපේ එවුන්ට කිරිකැට් කියන මළදානෙ කොරන්ඩ දන්නේ නැහැ.. එම සිහිවිල්ලෙන් අමරබන්දුගේ කේන්තිය තවත් තීව්‍ර වූයේය.

    ක්‍රිකට් අසා අහවර කළ අමරබන්දුගේ ඇස ගැටුනේ ඔහුගේ මායියා වීල්බැරෝවත් දක්කගෙන කොහේදෝ යන්නට තතනන බවය. කලකින් තෙල් නොදැමූ වීල්බැරෝවේ රෝදයෙන් නැගෙන හඩින් අමරබන්දුගේ දෙසවන කාරාගෙන ගියේය.

    “කොහෙද බොල මේ ගාටන්නේ ඇදිරි නීති අස්සේ?” අමරබන්දු විමසීය.

    “ඇයි ඔහේට ඇහුනෙ නැද්ද අද කඩෙන් බඩු ගන්න එළියට යන්න ඇහැකි කියාලා අර රෝහණ පොලිස් මහතැන් කියෙව්වේ..” ඇය පිළිතුරු දුන්නාය.

    “ඉතිං අහවල් දේකටද ඔය විල්බැරෝව දක්කන්නේ, පං මල්ල අරං පළයංකො” අමරබන්දු තරමක නොරිස්සුම් හඩකින් පැවසීය”

    “බැහැනෙ.. ගෙදර වාහනේ යන්න අවසර නැති නිසා වීල් බැරෝ එක අරන් යන්න කියාලා පේස් බුක් එකේ තිබ්බා කියල ඔය ලොකු එකී කියෙව්වෙ” ඇය පැවසුවේද දෙගිඩියාවකිනි.

    “මොන කුණුහබ්බයක්ද බොල ඒ” අමරබන්දු ඉබේටම වාගේ හුන් හිටි තැනින් නැගිට්ටවුනේය.

    “ඔහෙත් ඉතිං ඔතන ඇණතියාන උන්නා මිසක් හොයල බලනව යැ ඔය මොකුත්” එවර බිරිය දෝෂාරෝපණය කළාය.

    “ඉතිං ගොං ගෑනියෙ ඒ වාහන තියෙන උන්ටනෙ වාහෙනෙන් එන්න එපා කිව්වේ.. අපි වගේ ගොං කරත්තයක්වත් නැති උන්ට නෙවි..” අමරබන්දු පැවසූවේ කේන්තියෙනි. ඔහුගේ පැහැදිලි කිරීම හමුවේ සිය බිරිද සිව්කොණ මූට්ටු කර ගත නොහැකිව අන්දුන්කුන්දුන් වී සිටිනු දුටු හෙතෙම  “ඔන්න ඔහේ විල්බැරෝව ගෙදර තියල යමං මමත් එන්නං” යැයි පැවසමින් ඇය සමග කඩ පිලට යෑමට එක් වූයේ සිදු වූ දෙයින් මහත් මානසික පීඩාවකට පත්වසිටි ඇය ඒ අල්ලපනල්ලේ මොන හතර දිග්බාගයක ගොස් අතරමං වනු ඇත්දැයි ඔහුගේ සිතේ ඇතිවූ අනුකම්පාව හේතුවෙනි.

    සිය බිරිදත් සමගින් මහමගට පිවිසෙන විට මග දෙපස තුඩුදෙන සෙනග දුටු අමරබන්දු නැවතත් රෝහණ පොලිස් උන්නාන්සෙ රේඩියෝවෙන් පැවසූ උපදෙස් මාලාව නැවත වතාවක් සිහිපත් කළේය. තමුන්ට වරදින්නට හේතුවක් නම් නැත. නමුත් සෙනගද එක පොදියට කඩ පිල ඉදිරියේ කුසට කෑමක් සොයා දිවි පරදුවට තබමින්ම දැවැන්ත මෙහෙයුමකය. රථ වාහන වලින් මහමගට පැමිණීමට සීමා ඇතැයි පැවසුවද මහ මග නොතිබ්බේ නැව් බෝට්ටු පමණකි. එහෙයින් අමරබන්දුගේ සිතට අපේ ආශික්ලන්තයේ ඡන්දෙ හිමි මහජනයාගේ විනය පිලිබදව ඇතිවූයේ අතිශය කාලකණ්ණි ආඩම්බරයකි.

    සෙනග අතරින් මිලිමීටරයේ දුර තබාගෙන අපහසුවෙන් ඉදිරියට ගමන් ගත් අමරබන්දු ඈත තියාම දුටුවේ හොදින් දැක හුරු මුහුණකි. ශරීරයෙන් කුඩා ඒ පුද්ගලයාගේ කරේ ගෑස් ටැංකියකි, කමිසයේ කුඩා මයික්‍රෆෝනයකි සිවි කොට තිබුණි, එසේම ඔහු තබන සෑම පියවරකටම සමානුපාතිකව ඉදිරියෙන් ඇවදයමින් ඔහුගේ ඉරියව් රූපගත කරන කැමරා ශිල්පියෙකි. තවත් කිට්ටුවට පැමිණෙන විට අමරබන්දු නහයෙන් කණේන් දාඩිය පොලු වගුරවමින් ගෑස් ටැංකිය කර ගසාගෙන පැමිණෙන පුද්ගලයා හදුනා ගත්තේය.

    ‘ආ… මේ අපේ ඉස්සර ආණ්ඩුවෙ හිටපු මන්ත්‍රී මහාචාර්යයතුමානෙ” අමරබන්දු ඔහු ඇමතීය. 

    “හප්පේ අමරබන්දු උන්නැහේ.. බඩු ගන්න කඩේ ආවැයි.. බලන්නකෝ.. වාහන ගෙදරින් එළියට ගන්න එපාලුනෙ.. ගෑස් එක මාරු කරගන්න පයිංම එන්න උනානෙ.. අමරබන්දු උන්නැහේගෙ වෙහිකල් එකත් ගෙදරද?” මහාචාර්යය තුමා පැවසූ දෙයින් අමරබන්දු ගේ මුවගට සිනහ නැගුණි.

    “අනේ අපිට කොහෙන්ද මහාචාර්යය තුමෝ වාහන, කවදත් අපේ වාහනේ ඉතිං කකුල්දෙකනෙ..” අමරබන්දු සිනහ වෙමින්ම පැවසීය.

    “ඒත් ඇයි මේ ඔබ තුමාම ගෑස් ටැංකිය කරගහගෙන ආවෙ? ගෝලයෙක් අතේ එව්වනං අහවරයිනෙ.. නැත්තං කඩේමුදලාලි ගෙදරට ගෙනත් දෙනවනෙ” අමරබන්දු විමසුවේ දෙගිඩියාවෙනි.

    “ෂ් …ෂ්.. කෑගහන්න එපා.. මමම මේක උස්සං ආවෙ මගෙ මූනත්තාඩුව ටිකක් මිනිස්සුන්ට පේන්න කියලා.. කාලෙකින්නෙ මෙහෙම චන්ස් එකක් වැදුනෙ..” ඔහු කපටි සිනහවක් මුවගට නංවාගෙන පැවසීය. නමුත් ඉන් අමරබන්දුගේ නම් කේන්තිය ඉහවහා ගියේය.

    “අනේ ද කියන්නේ… ඔබ තුමාලා බලයෙ ඉන්න කාලෙ මොළේ “අංශු මාත්‍රයක්වත් තියෙන දෙයක් කළානං මෙහෙම ගෑස් ටැංකි උස්සගෙන පාරට වැටෙන්නෙ නැහැනෙ” කියූ අමරබන්දු තමන් ආ ගමන යන්නට ගියේය. එයට සවන්දී හුන් මහාචාර්යයවරයාටනම් “හික්” ගෑවුනි.

    කාටූන්: රංජන් පරනවිතාන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    තිලංග ෆොන්සේකා
    තිලංග ෆොන්සේකා
    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    ඔබේ අදහස් දක්වන්න.