fbpx
තවත්
    මුල් පිටුවspecialදවසෙන් දවස ගිලා බහින චීනය

    දවසෙන් දවස ගිලා බහින චීනය

    ගතවූ දශක කීපයක කාලය තුලදී චීනයේ ඇති වූ ශීඝ්‍ර වර්ධනයත් සමඟම එරට තුල ඉතා වේගවත් නාගරීකරණයක් දක්නට ලැබිණි. මෙම තත්ත්වය හේතුවෙන් මෙම නගර රැසක් ලොව විශාලතම නගර බවට පත්වූ අතරම විශාල ඉදිරි කිරිම් ප්‍රමාණයක්ද දක්නට ලැබිණි.

    මෙලෙස වර්ධනය වූ ඉදිකිරීම් හේතුවෙන් බහුතරයක් ගොඩනැගිලි ස්භාවිකව පිහිටි භූමිය වෙනස් කරමින් ඉදිකිරීමට පියවර ගෙන තිබිණි. මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් නගර ශීඝ්‍රයෙන් ගිලා බසිමින් පවතින අතර, සෑම ප්‍රධාන නගර හයකින් එකක්ම වසරකට මිලිමීටර් 10 ඉක්මවමින් ගිලා බැසීමට ලක්ව ඇති බව අනාවරණය වේ.

    මේ අතර චීනයේ වෙරළබඩ නගරවල, මෙම ගිලා බැසීම් මුහුදු මට්ටම ඉහළ යාමත් සමඟ මිලියන ගණනක් ජනයාට තැඩි තර්ජනය එල්ලකර ඇත.

    මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට චීනයේ විශ්ව විද්‍යාල කිහිපයක පර්යේෂකයන් කණ්ඩායමක් ලක්ෂ විස්සකට වැඩි ජනගහනයක් සිටින නගර 82 ක් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී මෙම පර්යේෂකයින් පිරිස චීනයේ භූමියේ සිදුවන චලයන් විශේෂයෙන්ම ගිලා බැසීම් සම්බන්ධයෙන් සොයා බැලීමට සෙන්ටිනල්-1 චන්ද්‍රිකාවේ දත්ත භාවිතා කර ඇත.

    ඒ අනුව 2015 සිට 2022 දක්වා කාලය දෙස බලන විට, නාගරික ප්‍රදේශවලින් 45% ක් වසරකට මිලිමීටර් 3 ට වඩා ගිලා බසින බවට අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව පර්යේෂකයින් පවසයි. මේ අතර නාගරික ප්‍රදේශ වලින් 16% ක් පමණ වසරකට මිලිමීටර් 10 ට වඩා වැඩි ප්‍රමාණයකින් ගිලා බසින බවත් එය ශීඝ්‍ර ලෙස පහළ යාමක් ලෙස විද්‍යාඥයන් විස්තර කරයි.

    මෙම දත්ත මගින් පෙන්නුම් කරනු ලබන තවත් කාරණයක් වන්නේ කෝටි හයකට අධික ජනතාව ඉතාම වේගයෙන් ගිලා බසින් ප්‍රදේශ වල ජීවත් වන බවයි.

    නගර ගිලා බැසීමට ප්‍රධාන සාධක කීපයක්ම බලපානු ලබන බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. ඒ අනුව ගොඩනැගිලිවල බර ඇතුළු සාධක ගණනාවකින් බලපායි. නමුත් මීට බලපාන ප්‍රාධනතම සාධකය වන්නේ භූගත ජලය අහිමි වීමයි. භූගත ජලය අහිවීම යනුවෙන් අදහස් වන්නේ එම ප්‍රාදේශයන් හී ජනගහනයේ භාවිතය සඳහා නගර යට හෝ ඒ ආසන්නයේ පවතින භූගත ජලය නිස්සාරණය කිරීමයි.

    මීට අතිරේකව මෙම නගර ආශ්‍රීතව සිදුකරනු ලබන ඛනිජ සහ ගල් අඟුරු සඳහා කැණීම් ද ගිලා බැසීම් වලට විශාල වශයෙන් බලපා ඇති බවක විද්‍යාඥයින් පෙන්වා දෙයි.
    මේ අතර චිනයේ විශාලතම ගල් අඟුරු පතල් පිහිටි ප්‍රදේශ වලින් එකක් වන පිංඩිංෂාන් හි උතුරු ප්‍රදේශයේ, වසරකට මිලිමීටර් 109 ක් ප්‍රමාණයකින් භූමිය ගිලා බැසීමක් වන බවටද අනාවරණය වී තිබේ.

    අධ්‍යයනයේ කතුවරුන් පවසන්නේ දේශගුණික විපර්යාස නිසා ඇති වූ ගිලා බැසීම් සහ මුහුදු මට්ටම ඉහළ යාම යන කාරණා හේතුවෙන් මෙම ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට දැඩි බලපෑමක් එල්ලවීමේ හැකියාවක් පවතින බවටද විද්‍යාඥයින් පෙන්වා දෙයි.

    මෙහිදී දේශගුණික විපර්යාසය හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළයාමට වඩා වැඩි වේගයකින් නගර ගිලා බැසීම සිදුවිම මගින් මෙම ප්‍රදේශ ජලයෙන් යටවීමේ දැඩි අවධානමක් නිර්මාණය වී ඇත. කෙසේවෙතත් මෙම තත්ත්වය සඳහා යොදාගත හැක එක් පිලියමක් වන්නේ එම භූමයේ ඇති භූගත ජලය වෙනුවට ස්භාවික ජල මාර්ග මගින් ජලය ලබාගැනීමයි. එමගින් මෙම තත්ත්වය යම් ආකාරයකින් පාලනය කිරීමට හැකියාවක් තිබෙන බවද විද්‍යාඥයින් සඳහන් කරයි.

    තත්ත්වය කෙසේ පැවතියත් චීනය විසින් පසුගිය කාලය පුරා දියත් කළ දැඩි කාර්මීකරණ කටයුතු මගින් දැඩි පාරිසරික බලපෑමක් සිදුව ඇති අතර එහි ප්‍රථිපල ඉදිරි අනාගතයේදි දැඩි බලපෑමක් එල්ල කිරීමට ඉඩ පවතින බවටද වාර්තා පළවේ.

    නුවන් සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.