fbpx
තවත්
    මුල් පිටුවspecialබිඳෙන බැඳුම් සවිමත් කර ගනිමු …

    බිඳෙන බැඳුම් සවිමත් කර ගනිමු …


    නව තාක්ෂණය තුළින් සියල්ලක්ම පාහේ ඩිජිටල්කරණය වූ වර්තමාන සමාජය තුළ මානව සම්බන්ධතාවයන්ට හිමි වී ඇත්තේ ඉතා ඛේදනීය ඉරණමකි. නව තාක්ෂණය යොදා ගනිමින් දුරස්ථව සිටියවුන් සමීප කිරීමට සැදු උපාංගයන් තුළින්ම වර්තමානය වන විටදී සමීපතමයන් අතර දුරස්ථභාවයක් නිර්මාණය කොට ඇත. මුදල් පමණක් ප්‍රමුඛතාවය ලබා ඇති වත්මන් සමාජය ක්‍රමය තුළ සබඳතාවන්ට අත්වී ඇත්තේ ඉතා ඛේදනීය ඉරණමකි. දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය, සැමියා හා බිරිඳ අතර සම්බන්ධතාවය ඥාති හිත මිත්‍රාදීන් අතර සම්බන්ධතාවය වැනි සබඳතාවන් පෙර නොවූ විරූ පරිද්දෙන් දුරස්ථ භාවයකට ළක් වි ඇත.
    විශේෂයෙන්ම විවාහක අඹුසැමියන් අතර සබඳතාවය පෙර නොවිවිරූ පරිද්දෙන් දුරස්ථභාවයකට ලක් වීමත්, ඒ තුළින් විවිධාකාර ගැටළුකාරී තත්වයන් මතුවීම හරහා දික්කසාදය දක්වා දුර යාමත් වර්තමානයේ ඉතා සුලභ තත්ත්වයකට පත්වී ඇත. සමීක්ෂණයන් මගින් මේ වන විට අනාවරණය කරගෙන ඇති පරිදි ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් දිනකට දික්කසාදයන් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් සිදුවන අතර ඒ තුළින් මෙම කණගාටුදායක තත්ත්වය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකිය. ශ්‍රී ලංකාවේ මෙබඳු තත්ත්වයක් මීට පෙර කාල සීමාව තුළ වාර්තා නොවුවද වර්තමානයේ දැකගත හැකි මෙම තත්ත්වය තුළින් පෙනී යන්නේ දික්කසාදය හෝ වෙන්වී ජීවත් වීම ශ්‍රී ලාංකේය සමාජය තුළ ඉතා සාමාන්‍යකරණයට ලක් වී ඇති බවයි. මෙහි ඇති ඛේදනීය ම තත්වය වන්නේ මෙම කුටුම්භයන් විසිරී යාම තුළින් දරුවන්ට ඇතිවන සෘණාත්මක හා අයහපත් බලපෑමයි. සමස්තයක් වශයෙන් මෙම තත්ත්වය මුළු මහත් සමාජයටම ගැටලුකාරී හා අවැඩදායී වෙනත් සමාජ ප්‍රශ්නයන් කරා මඟ පෙන්වයි.


    දික්කසාදය සඳහා යොමුවන බහුතරයක් පවුල් වල ඇති ගැටුම්කාරී තත්වය කුමක්ද? යන්න පිළිබඳව අවධානය යොමු කළහොත් හඳුනාගත හැකි ප්‍රධානම සාධකය ලෙස සැමියා හා බිරිඳ අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය නොමැතිකම බව හඳුනා ගැනීමට පුළුවන. සැමියා හා බිරිඳ එකිනෙකා පිළිබඳව අවබෝධයක් නොමැතිවීම තුළින් හට ගන්නා සුළු ගැටලුකාරී දික්කසාදය දක්වා යන දරුණු ගැටුම් බවට පසුකාලීනව පත්වී ඇති බව එම ගැටලු පිළිබඳ ව පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී හඳුනා ගැනීමට හැකිය.
    සැමියා හා බිරිඳ අතර අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය හා ආදරය වැනි ගුණාංගයන් වැඩිදියුණු කරගැනීම හා ඒ තුළින් දෙදෙනා අතර පවතින බැඳීම වඩාත් ශක්තිමත් කර ගැනීම තුළින් ගැටලු අවම කොටගත් පවුල් ජීවිතයක් කරා මග පෙන්වයි. සැමියා හා බිරිඳ අතර පවතින බැඳීම වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා ඉතා සරල හා පහසු පියවරයන් කිහිපයක් ඔස්සේ සිදුකළ හැකි අතර ඒ තුළින් වඩාත් ශක්තිමත් වූ බැඳීමක් තුළින් සැමියා හා බිරිඳ අතර පවතින දුරස්ථභාවය අඩු කර ගැනීමට පුළුවන ධනාත්මක චර්යාවන් තම සබඳතාවයට එක්කාසු කර ගැනීම තුළින් යුවලකගේ ප්‍රීතිමත් භාවය වැඩිදියුණු කර ගැනීමත් එතුළින්සැමියා හා බිරිඳ අතර පවතින සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් කිරීමටත් මග පාදා ගැනීමට පුළුවන. ඒ සඳහා යොදාගත හැකි ක්‍රමෝපාය කිහිපයක් පහතින් දක්වා ඇත.

    1- එකිනෙකා සතු අනන්‍යතා අගය කිරීම.

    තම සැමියා හෝ බිරිඳගේ ඇති ශාරීරික ලක්ෂණයන් ඒ අයුරින්ම පිළිගනිමින් එය අගය කිරීමට හැකිවීම ශක්තිමත් සබඳතාවයකට මග පෙන්වයි. තම සහකරුගේ හෝ සහකාරියගේ ශාරීරික ස්වභාවය මහත හෝ කෙට්ටු භාවය එසේත් නැතිනම් හමේ පැහැය, මහත හෝ කෙට්ටු භාවය වෙනත් අය ගේ ශරීර ස්වභාවයන් සමග සංසන්දනය නොකිරීම ඉතා වැදගත් වේ. එසේම තම සහකරු හෝ සහකාරිය තුළ පවතින රූප සොබාවය අගය කිරීම සිදුකළ යුතුය. ඕනෑම කෙනෙකුට අනන්‍යවූ ශරීරික ස්වභාවයක් පවතී. යථාර්ථවාදී මනසකින් යුතුව පිලි ගැනීම හා අගය කිරීම තුළින් තම සහකරු හෝ සහකාරිය කෙරෙහි විශ්වාසයක් හා ගෞරවයක් ගොඩ නැගෙන අතර ඒ තුළින් යුවලකගේ ප්‍රීතිමත් භාවය වැඩි දියුණු වේ.

    2- එකිනෙකා කෙරෙහි කාරුණික භාවය පවත්වා ගැනීම.

    කාරුණික භාවය යනු පොදු මනුෂ්‍යයන් අතර තිබිය යුතු ගුණාංගයකි. එය පවුල් ජීවිතය තුළ දී ද අත්‍යවශ්‍යම වන බව ත් ඒ තුළින් වඩාත් ප්‍රීතිමත් සබඳතාවක් ගොඩ නැඟෙන බවත් පර්යේෂණ පර්යේෂණ වලින් අනාවරණය වී ඇත. පවුල් ජීවිතයක් ගත කිරීමේ දී එකිනෙකා කෙරෙහි කාරුණික භාවය පවත්වා ගනිමින් එකිනෙකාට උදවු කිරීම තුළින් මම කාරුණිකභාවය ප්‍රදර්ශනය කළ හැකිය. තම සහකරුවාගේ හෝ සහකාරියගේ එදිනෙදා කටයුතු වලට සහායක් ලබා දීම වැනි ඉතා කුඩා දෙයකින් පවා එය සිදු කළ හැකිය. උදාහරණයක් වශයෙන් ගතහොත් දරුවන්ගේ වැඩ කටයුතු සමඟ කාර්ය බහුලව සිටින බිරිඳට කෙටි විවේකයක් ලබා දීම සඳහා දරුවන් බලා ගැනීම කෝ ඇයගේ එදිනෙදා කටයුතුවලට සහාය වීම වැනි ඉතා කුඩා ක්‍රියාවකින් පවා ඇය තුළ ස්වාමියා කෙරෙහි ස්තුති පූර්වක හැඟීමක් මෙන්ම ආදරයක් ද ඇති වේ. එසේම තම සහකරුට හෝ සහකාරියට තමා නිතර ඔහු හෝ ඇය පිළිබඳව විමසිලිමත් වන බව හැඟවීම ද සිදුකළ යුතුය. කොතරම් වැඩ රාජකාරි මධ්‍යයේ වුවද කෙටි පණිවුඩයක් මගින් හෝ ඇගේ දවස ගත වෙන්නේ කෙසේද යන්න පිළිබඳ විමසා බැලීමෙන් ඉතා සුළු ක්‍රියාවකින් පවා එකිනෙකා අතර ඇති සම්බන්ධය වැඩි දියුණු වනු ඇත. පර්යේෂණ මගින් හෙළි වී ඇති පරිදි මෙවැනි ඉතා කුඩා ක්‍රියාවලින් සබඳතා වැඩි දියුණු වීම සඳහා සහ ශක්තිමත් වීම සඳහා ඉතා විශාල කාර්යභාරයක් සිදු වන බව අනාවරණය කරගෙන ඇත.

    3-එකිනෙකා වෙනුවෙන් අවම වශයෙන් දිනකට විනාඩි 10 ක පමණ කාලයක් වෙන් කර ගැනීම.

    එකම නිවසක වාසය කළ ද බොහෝවිට රැකියා හා වෙනත් කටයුතුත් සමග ඉතා කාර්ය බහුල දිවියක් ගත කිරීම වර්තමානයේ සාමාන්‍ය ස්වභාවයකි. එවැනි කාර්යබහුලත්වයක් හමුවේ දෙදෙනා අතර සතුටු සාමීචි කථා වලට ඉඩක් නොමැත. සබඳතා බිඳී යෑමට මෙය ප්‍රධානතම හේතුවක් වශයෙන් හඳුනා ගැනීමට පුළුවන. සැමියාට හෝ බිරිඳට කතා කිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ නම් පිළිබඳ වඩාත් අවබෝධයක් ඇති කරගත හැකි වන්නේ කෙසේද ?ඉතා සාර්ථක හා ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන යුවලවල් පිළිබඳව අධ්‍යනය කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ ඉතා හොඳ සන්නිවේදනයක් ඔවුන් අතර පවතින බවයි. එකිනෙකා හා කථා කිරීම හා සන්වේදනය හොඳින් පවත්වා ගැනීම තුළින් අනෙකා පිළිබඳ ගැඹුරු අවබෝධයක් මෙන්ම තේරුම් ගැනීමක් ද අනෙකා තුළ ඇතිවේ. ඒ තුළින් දෙදෙනා අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩ නැගේ. පවතින කාර්යබහුලත්වය හමුවේ අවම වශයෙන් මිනිත්තු 10 ක් දිනකට දෙදෙනා අතර සංවාදයක් ගොඩනැගීම සඳහා වෙන්කර ගත යුතුය. ඒ කුඩා කාලය තුළින් ඔබගේ සබඳතාවයට නව ජීවයක් හා ශක්තිමත් භාවයක් ලබා දෙන නොඅනුමානය.

    4-එකිනෙකා කෙරෙහි ඇති ආදරය ප්‍රකාශ කිරීම.

    තම සහකරු හෝ සහකාරිය කෙරෙහි තමා තුළ පවතින හැඟීම ඔහුට හෝ ඇයට ප්‍රකාශ කිරීම සිදුකළ යුතු අතර පවතින කාර්යබහුලත්වය හමුවේ දුරකථන ඇමතුමකින් හෝ කෙටි පණිවුඩයක් මාර්ගයෙන් “මම ඔයාට ආදරෙයි ” යනුවෙන් වාචිකව තම ප්‍රේමය ප්‍රකාශ කළ යුතුය. මෙය කිසිසේත් ම අසීරු කාර්යයක් නොවේ. ඉතා සුළු ක්‍රියාවක් වුවද මේ තුළින් තම සහකරු පිළිබඳව විශාල බැඳීමක් ඇතිවෙන බව මනෝ විද්‍යාඥයන්ගේ මතයයි. එපමණක් නොව තම රැකියා හා දරුවන්ගේ කටයුතු සමග සමග කාර්යබහුල වී සිටින අතරතුර වුවද දෙදෙනා පමණක් රාත්‍රී ආහාර ගැනීම සඳහා අවන්හලකට යාම, චිත්‍රපටයක් බැලීමට යාම හෝ ව්‍යායාම හෝ යෝග ව්‍යායාම වැඩසටහන් සඳහා සහභාගි වීම වැනි කාර්යයන්වල නිරත වීම සඳහා කෙසේ හෝ අවකාශ සලසා ගැනීමත් තුළින් දෙදෙනාගේ සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් වීම සිදුවන බව මනෝ විද්‍යාඥයන් හා මනෝ උපදේශකවරුන් විසින් අනාවරණය කරගෙන ඇත.

    5-යුවළක් වශයෙන් සෑම කටයුත්තක්ම එක්ව සිදු කිරීම.

    “ගෙදර කෑම හදන එක, සුද්ද කරන එක ළමයි බලා හදාගෙන උස් මහත් කරන එක බිරිඳගෙ වගකීම, මම රස්සාව කරලා සල්ලි හම්බ කරනවා නේ” වැනි අදහස් බොහෝ ස්වාමිපුරුෂයන් සතුවන අතර මෙබඳු වැරදි අවබෝධයන් තුළින් එකිනෙකා අතර දුරස්ථ භාවයක් ඇතිවේ. එසේ නොසිතා සැමියා හා බිරිඳ සියලු කටයුතු වල දී ම එක හා සමානව සම්බන්ධ සම්බන්ධ වී කටයුතු කිරීම මෙයින් අදහස් කෙරේ. නිවසේ කටයුතු, දරුවන්ගේ කටයුතු හෝ අනෙකුත් සියලු කටයුතු” මෙය අපේ නිවසයි ” යන හැඟීමෙන් එකිනෙකාට සහාය වෙමින් සිදුකිරීම සිදුවිය යුතුඅතර වැඩ කිරීම පමණක් නොව විනෝද වීම, විනෝද චාරිකා යාම හෝ සතුට ළඟා කරන ක්‍රියාද දෙදෙනාම සහභාගිත්වයෙන් සිදු කිරීම තුළින් එකිනෙකා කෙරෙහි ඇතිවන ගෞරවය, ආදරය හා ආරක්ෂාකාරී හැඟීම තුළින් ශක්තිමත් සබඳතාවයක් ගොඩනැගෙනු ඇත.

    6-දෙදෙනාගේම දෙමව්පියන් ඥාතීන් හා මිතුරන් පිළිබඳව අවබෝධයකින් යුතුවීම හා යහපත් සබඳතාවක් ගොඩනඟා ගැනීම.

    සාර්ථක පවුල් ජීවිතයක් සඳහා මෙම කරුණු ඉතාම වැදගත් වූවකි. විශේෂයෙන්ම වර්තමාන ශ්‍රී ලංකාව තුළ බහුතරයක් පවුල් ආරවුල් ඇතිවීමට හේතුව වශයෙන් හඳුනාගත හැකිව ඇත්තේ තම සහකරු හෝ සහකාරියගේ දෙමාපියන් හා ඥාතීන් අතර හොඳ සබඳතාවක් ගොඩනඟා ගැනීමට අපොහොසත් වීමයි. බිරිඳක් විසින් නම් තම සැමියාව ආදරය කරන පරිද්දෙන්ම ඔහුගේ දෙමාපියන් හා පවුලටද ගෞරවය දැක්වීම හා සමීප වීම සිදු කළ යුතුය. සැමියා විසින් ද තම බිරිඳගේ දෙමාපියන් හා සහෝදර සහෝදරියන් කෙරෙහි එබඳුම පරිදි ක්‍රියා කළ යුතු අතර එසේ සබඳතා පලුදු නොවී පවත්වා ගැනීම තුළින් දෙදෙනා අතර ඉතා හොඳ සබඳතාවයක් ගොඩ නැගෙනු ඇත. එසේ සබඳතාවක් ගොඩනඟා ගැනීම සඳහා පවතින දුෂ්කරතාවයන් අවබෝධ කරගනිමින් මම දුෂ්කරතාවයන් මග මගහැර සිටීමට ද දෙදෙනා විසින් ක්‍රියා කළ යුතුය. එසේම දෙදෙනාගේම මිතුරන් හෝ හිතෛෂීන් සම්බන්ධව ද එම ක්‍රියා පිළිවෙතම අනුගමනය කළ යුතුය.

    7-හොඳ රැකබලාගන්නෙකු වීම.

    සැමියා හා බිරිඳ එකිනෙකා කෙරෙහි පවතින බැඳීම වඩාත් වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම ගුණාංගය අවශ්‍යම වේ. “මොන දේ වුණත් මම ඔයත් එක්ක ඉන්නවා ” මෙවැනි හැඟීමක් තම සහකරු හෝ සහකාරිය තුළ ඇති කිරීම සදහා ක්‍රියා කළ යුතු අතර ඒ මගින් බැඳීම තුළ වඩාත් සුරක්ෂිත භාවයක් තම සහකරුට හෝ සහකාරියට දැනෙනු ඇත. පුරුෂයන් බොහෝ විට උපදේශනාත්මක ව හා මෙහෙයවන්නෙක් වශයෙන් තම බිරිඳට සුරක්ෂිත හැඟීමක් ඇති කරනු ලබන අතර බිරිඳ විසින් බොහෝ විට ස්වාමි පුරුෂයා තුළ භාවාත්මක වශයෙන් සුරක්ෂිතභාවයක් හා රැක බලා ගැනීමත් සිදු කෙරේ. මේ මේ සඳහා සහකම්පනාත්මක සවන්දීම හා ධනාත්මක ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය වන බව මනෝ විද්‍යාඥයන් විසින් පැහැදිලි කරයි. තමාට කුමක් සිදු වුවත් තමාගේ සහකරු තමා ආරක්ෂා කරන්නේය, තමා සමග සිටින්නේය යන හැඟීම අනෙකා තුළ ජනිත කිරීම සිදුකළ යුතුය.

    8- සරලව හා ප්‍රීතිමත්ව සිටීම.

    අනවශ්‍ය ප්‍රශ්න කෝ ගැටලුකාරී තත්වයන් දිගින් දිගටම පවත්වා නොගනිමින් සරල හා සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට යොමු වීම මින් අදහස් කෙරෙන අතර සතුට ඇති කරවන සුළු විනෝදාත්මක ක්‍රියාවන්හි නිරත වීම සිදු කිරීම තුළින් ආතතිය මග හැරී ප්‍රීතිමත් පවුල් ජීවිතයකට මග පාදන බව මනෝ විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. ගෙදර සිනහමුසුව සිටීම, විනෝදාත්මක චිත්‍රපට බැලීම හෝ විනෝද ක්‍රීඩාවල නිරත වීම වැනි ක්‍රියාවන් වලින් සතුට ළඟා කර කර ගැනීමට පුළුවන.

    9- දෙදෙනා අතර ඉතා හොඳ සන්නිවේදනයක් ගොඩනඟා ගැනීම.

    ප්‍රීතිමත් දීර්ඝකාලීන පවුල් ජීවිත ගත ගත කරන පුද්ගලයන් සම්බන්ධව සිදුකරන ලද පර්යේෂණ වලින් හෙළිවී ඇති පරිදි යුවළක් අතර පවතින සම්බන්ධතාවය දුරස් නොවී තබා ගැනීම සඳහා හොඳ සන්නිවේදනය අත්‍යවශ්‍ය කරුණක් බව හඳුනාගෙන ඇත. තමන් කැමති දේ පමණක් නොව අකැමැති දේ පිළිබඳවද විවෘතව තම සහකරු හෝ සහකාරිය සමඟ සාකච්ඡා කිරීම තුළින් දෙදෙනා අතර පවතින සම්බන්ධතාව වඩාත් ස්ථාවර කරගත හැකි වනු ඇත. තමන් කැමති දේ පමණක් නොව අකමැති දේ පිළිබඳව තම සහකරු හෝ සහකාරිය දැනුවත් කිරීම තුළින් මම ක්‍රියාව නැවත සිදු නොවීම තුලින් ඇතිවෙන ආතති තත්ත්වයන් වළක්වා ගැනීමත් එය තුලින් ගැටලු අඩු වීමත් සිදුවේ.

    එසේම ගැහැනිය සහ පිරිමියා අතර පවතින කාය ජීව වෙනස්කම් පිලිබදව හොද අවබෝධයක් දෙදෙනා සතු වීම ද ඉතාම අත්‍යවශ්‍ය කරුණකි. එනම් ශාරීරික සැකැස්ම අනුව ගැහැනිය හා පිරිමියා අතර පවතින වෙනස්කම් පමණක් නොව මානසික වශයෙන් ද ගැහැනිය හා පිරිමියා අතර පවතින වෙනස්කම් පිළිබඳව මනා අවබෝධයක් දෙදෙනා අතර පැවතීම තුළින් වඩාත් ශක්තිමත් සබඳතාවයක් ගොඩ නැගෙනු ඇත. උදාහරණයක් වශයෙන් ගතහොත් කාන්තාවගේ සම පුරුෂයාට වඩා සුමුදු හා මටසිළුටු වන අතර ස්පර්ශයට වැඩි සංවේදීභාවයක් දක්වයි. එබැවින් කාන්තාව නිරතුරුවම නිරතුරුවම පුරුෂයාගේ ස්පර්ශය බලාපොරොත්තු වේ. මේ පිළිබඳව අවබෝධ පුරුෂයාට හොඳ අවබෝධයක් පවතී නම් එම පවුල් දිවිය වඩාත් සාර්ථක එකක් වනු ඇත. (මේ සම්බන්ධව මීට පෙර දීර්ඝ වශයෙන් ලිපියකින් විග්‍රහ කොට ඇත) එසේම දෙදෙනා අතර ඉතා හොඳ හොඳ ලිංගික සම්බන්ධතාවයක් තිබීම ද අත්‍යවශ්‍යම කරුණකි. ආදරය හා එකිනෙකා කෙරෙහි ගෞරවය සහිතව දෙදෙනාගේ අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් ගොඩනඟා ගන්නා වූ යහපත් ලිංගික සම්බන්ධතාවය ද ඉතා ශක්තිමත් පවුල් ජීවිතයක පදනම ලෙස සඳහන් කිරීම නිවැරදිය.
    මෙසේ දෙදෙනාම දෙදෙනා පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින් යුතුව හා එකිනෙකා කෙරෙහි ගෞරවය හා ආදරය, සෙනෙහස, රැකබලා ගැනීම තුළින් අන්‍යෝන්‍ය බැඳීම් ශක්තිමත් කර ගන්නේ නම් ඒ තුළින් අනිවාර්යයෙන්ම ප්‍රීතිමත් පවුල් ජීවිතයක් කරා මග පෙන්වනු ඇත.

    සංජිවනි සෙනෙවිරත්න

    සාම විනිසුරු, මනෝ උපදේශිකා
    උපදේශන මනෝවිද්‍යාව මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද්උපාධි ඩිප්ලෝමා කොළඹ විශ්වවිද්‍යාලය
    අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධි – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
    මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවයට ලක්වුවන් සඳහා උපදේශනය පිළිබඳ විශේෂ පුහුණු
    ප්‍රජා විශෝධන නිලධාරීනී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය

    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න

    සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න
    සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

    ඔබේ අදහස් දක්වන්න.