fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැලේසියාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් වටලද්දී ලාංකිකයන් පිරිසකුත් අත්අඩංගුවට

    මැලේසියාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් වටලද්දී ලාංකිකයන් පිරිසකුත් අත්අඩංගුවට

    මැලේසියාවේ මහල් නිවාස සංකීර්ණයක් වැටලීමකදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 158 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද වන බවට එරට වාර්තා පවසයි.

    එරට පෙරාක්හි බර්චම් ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක් පරීක්ෂාවට ලක්කරන අවස්ථාවේදී සංක්‍රමණිකයන් 358 දෙනකු සිට ඇත.

    ඉන් 158 දෙනෙකු මැලේසියාවේ වලංගු වීසා බලපත්‍ර හෝ වලංගු බලපත්‍ර නොමැතිව ජීවත්වීම හෝ අවසර ලත් කාල සීමාව ඉක්මවා සිටීම හේතුවෙන් රඳවාගෙන සිටින බව පෙරාක් ආගමන අධ්‍යක්ෂ මීර් හිස්බුල්ලා මලික් පවසයි.

    මෙම සංක්‍රමණිකයන් අතර වයස අවුරුදු 9 ත් 60 ත් අතර වයස්වල පසුවන පිරිමින් 83 ක්, කාන්තාවන් 54 ක්, පිරිමි ළමයින් 8 ක් සහ ගැහැණු ළමයින් 3 ක් වේ.

    ඔවුන් සියල්ලෝම ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය, චීනය, පකිස්ථානය සහ වියට්නාමය යන රටවලින් පැමිණි අය වෙති.

    මෙම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් දේශීය ඉඩම් හිමියන්ගෙන් මහල් නිවාස කුලියට ගත් අය වන බව එරට බලධාරීහු පවසති.

    මෙම වැටලීමේදී ස්ථාන 15 ක නිවාස ඒකක 560 ක් පමණ පරීක්ෂාවට ලක් කරන ලදී.

    නිසි අවසරයකින් තොරව තම දේපළ විදේශිකයන්ට කුලියට නොදෙන ලෙස මීර් හිස්බුල්ලා දේශීය නිවාස හිමියන්ට අනතුරු අඟවා ඇත.

    එසේ කිරීමෙන් මැලේසියානු 1959/63 ආගමන විගමන පනතේ 55 (E) වගන්තිය යටතේ චෝදනා එල්ල විය හැකි බවත්, එය එරට මුදලින් RM30,000 ක උපරිම දඩයක් හෝ මාස 12 ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි බවත් ඔහු පැවසීය.

    මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ලේඛන නොමැති සංක්‍රමණිකයන්ට තම නිවාස හෝ කාමර කුලියට දුන් සෑම නිවාස හිමියෙකු ගැනම දෙපාර්තමේන්තුව විමර්ශනය කරන බව ද මීර් හිස්බුල්ලා ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.