fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"සජබ ආණ්ඩුවකින් ව්‍යාපාර මිලියනයක් ඇතිකරනවා"

    “සජබ ආණ්ඩුවකින් ව්‍යාපාර මිලියනයක් ඇතිකරනවා”

    සමගි ජනබලවේග ආණ්ඩුවකින් නව ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලක්ෂ 10ක් බිහිකරන බව විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ සුහුරු ව්‍යාපාර ව්‍යවසායක කණ්ඩායමක් බිහිකර, අපනයන කේන්ද්‍රීය ආර්ථිකය හරහා අපේ රටට ඩොලර් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද(17) කුලියාපිටිය කටුපොත වැව ආසන්නයේ පැවැති සමගි ජන බලවේගයේ තරුණ සමුළුව අමතමිනි.

    2019 ජනාධිපතිවරණයේ දී ප්‍රථම වතාවට තරුණ ප්‍රඥප්තියක් ඉදිරිපත් කළේ සමගි ජන බලවේගය බවත් එය යාවත්කාලීන කර නවීකරණය කර මේ වසරේත් ඉදිරිපත් කර තරුණයන් සමඟ අත්වැල් බැඳ ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    සාම්ප්‍රදායික රටාව අනුගමනය කරන පොරොන්දු දේශපාලනඥයන් අවිශ්වාස කළ හැකි වුවත් සමගි ජන බලවේගය එම සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කර විපක්ෂයේ සිට බලයක් නොමැතිව වැඩ කර පෙන්වූ බව හෙතෙම කීය.

    සමගි ජන බලවේගය සම්මත දේශපාලන ක්‍රමයෙන් පරිබාහිරව බලය ලැබුණම කරන වැඩසටහනේ ආකෘතියක් ලෙස සක්වල හා හුස්ම වැඩසටහන් අති සාර්ථක ලෙස මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.

    ජනතාව අපේක්ෂා කරන විසඳුම ඇත්තේ අප සතුවයි

    සම්මතය, සම්ප්‍රදාය කඩකර මේ රටේ ප්‍රථම වතාවට බලයක් නොමැතිව රටට සේවය කරන සමගි ජන බලවේගයට අවස්ථාව ලබා දීමෙන් රටටත් තාරුණ්‍යයටත් විශිෂ්ඨ සේවාවක් ඉටු කළ හැකි බවත් සමගි ජන බලවේග රජයක් යටතේ ජනතාව අපේක්ෂා කරන විසඳුම සහ උත්තරය අනිවාර්යෙන්ම ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    අපි ඉදිරිපත් කරන්නේ පොරොන්දු පත්‍රයක් නොව සමාජ ගිවිසුමක්

    සෙසු දේශපාලනඥයන් මෙන්ම තමාද පොරොන්දු පත්‍රයක් ඉදිරිපත් කරත් එය පොරොන්දු වලට සීමා නොවුණ සමාජ ගිවිසුමක් බවට පරිවර්තනය කරන බවත් තාරුණ්‍යය අතර ඇති කර ගන්නා ලද එම සමාජ ගිවිසුම රටටත් ජනතාවටත් සෞභාග්‍ය උදාකරණ සමාජ ගිවිසුමක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ආර්ථිකය ගොඩනැගීමේ දී තරුණයක්ට මුල් තැන

    එහි දී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීය වෙනසක් ඇති කර ආර්ථිකය ගොඩනගන්න තාරුණයයට මුල්තැන ලබා දී තරුණයන්ගේ නිදහස වෙනුවෙන් සියලුම නීතිමය ප්‍රතිපාදන නිර්මාණය කරන බවත් සෞඛ්‍ය සම්පන්න ජන පරපුරක් උදෙසා නීරෝගී ජීවිතයක් ගත කිරීම මානව අයිතියක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    යල්පැනගිය ගිරාපෝතක අධ්‍යාපනය වෙනුවට ප්‍රශ්නවලට විසඳුම් සපයන අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ඉංග්‍රීසි හා තොරතුරු පරිගණක විද්‍යාව ඉගැන්වීම සිදු කරන නව විෂය නිර්දේශයක් රට තුළ බිහි කර පාසල් 10126ම ලෝකයේ ගුණාත්මකභාවයෙන් ඉහළම පාසල් 10126ක් බවට පරිවර්තනය කරන බවත් එය රටේ දරු පරපුර තාරුණ්‍යය වෙනුවෙන් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    තාරුණ්‍යය ඉලක්ක කර ගත් ව්‍යාපාර මිලියනයක්

    එසේම නව ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලක්ෂ 10ක් බිහි කර ඊට අවශ්‍ය ප්‍රාග්ධනය, දරාගත හැකි පිරිවැයකට ප්‍රග්ධනයට ප්‍රවේශය අපනයන වෙළෙඳපොළට භාණ්ඩ හා සේවාවලට අවතීර්ණ වීමේ පහසුකම් මෙන්ම සුහුරු ව්‍යාපාර ව්‍යවසායක කණ්ඩායමක් බිහි කර අපනයන කේන්ද්‍රීය ආර්ථිකය හරහා අපේ රටට ඩොලර් ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

    තාරුණ්‍යය වෙනුවෙන් උපරිම නිදහසක් ඇති රටක් බිහි කරනවා

    ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉංග්‍රීසි, චීන, ජපන් භාෂා තොරතුරු තාක්ෂණ හා පරිගණක තාක්ෂණය නොමිලේ ඉගැන්වීමේ පහසුකම් ලබා දී ඒ තුළින් තරුණයන් සවිබල ගන්වනවාට අමතරව භාෂණයේ ප්‍රකාශනයේ හා තමන් කැමැති ආගමක් ඇදැහීමේ අයිතිය තමන් කැමති දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීමේ අයිතිය සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කිරීමේ අයිතිය පවා ලබා දෙන බවත් තරුණයන් සතු වටිනාම සම්පත වන නිදහස සුරැකීමට කැපවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

    කටුපොත පැවති සජබ තරුණ සමුළුවේ වීඩියෝව පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.