fbpx
තවත්

    කොළඹ ඉඩම් මිලට වෙච්ච දේ..

    කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම්වල තක්සේරු වටිනාකම්වල වර්ධන වේගය ගිය වසරට සාපේක්ෂව මන්දගාමී බවක් පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ දෙවන භාගයේ දී 7.1% ක සාපේක්ෂව අඩු වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කර ඇති බවයි.

    මේ තත්ත්වය නේවාසික, වාණිජ හා කාර්මික යන එහි අනු දර්ශක තුනෙහි ම දක්නට ලැබේ.

    එම දර්ශක පිළිවෙලින් 8.8%, 6.7% සහ 5.9%ක වර්ධනයන් වාර්තා කරන ලදී.

    අර්ධ වාර්ෂික පදනමින් ද මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරමින් ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ පළමු භාගයට සාපේක්ෂව දෙවන භාගයේ දී 2.1% ක සුළු වර්ධනයක් වාර්තා කරන ලදී.

    මේ සඳහා 2023 වසරේ පළමු භාගයට සාපේක්ෂව දෙවන භාගයේ දී කාර්මික අනු දර්ශකය අඩු වේගයකින් වර්ධනය වීම ප්‍රධාන වශයෙන් බලපෑ අතර වාණිජ හා නේවාසික අනු දර්ශකවල අඩු වර්ධනය ද තවදුරටත් හේතු වූ බව මහබැංකුව කියයි.

     

    රජයෙ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් අර්ධ වාර්ෂිකව එක්රැස් කරගනු ලබන හිස් ඉඩම් පර්චසයක් සඳහා වන මිල ගණන් මේ සඳහ භාවිතා කෙරේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 ක් ආවරණය වන පරිදි 1998 සිට 2008 දක්වා වාර්ෂිකව ද 2009 සිට 2017 දක්වා අර්ධ වාර්ෂිකවද ඉඩම් මිල දර්ශකය සකස් කර ඇත.

    ඉන්පසු 2017 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ම ඇතුලත් වන පරිදි මෙම දර්ශකයේ භූගෝලීය ආවරණය පුළුල් කර, පදනම් වර්ෂය 2017 පළමු භාගය ලෙස සංශෝධනය කරන ලදී. මෙම ඉඩම් මිල දර්ශකය 2020 වසරේ සිට ඉඩම් තක්සේරු දර්ශකය ලෙස ප්‍රතිනාමකරණය කරන ලද අතර එය අර්ධ වාර්ෂිව ප්‍රකාශයට පත් කෙරේ.

    ඉඩම් භාවිතය සම්බන්ධයෙන් පවත්නා විවිධත්වය සහ සමජාතීත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාව යන කරුණු සැලකිල්ලට ගනිමින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඒ ඒ ප්‍රදේශයේ එක් එක් කාණ්ඩයට අයත් ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල උපයෝගි කර ගනිමින් නේවාසික, වාණිජ හා කාර්මික ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරනු ලැබේ. එම අනු දර්ශක තුනෙහි සාමාන්‍යය ඇසුරෙන් ඉඩම් තක්සේරු දර්ශකය ගණනය කරනු ලැබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.