ලක්ෂ 20 ක් පමණ වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 04 කින් වැඩිකිරීම සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වන දින පමණ වන විට ආරම්භ කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී විවිධ පාර්ශවවලින් ලද යෝජනා අනුව නිර්ණායක සංශෝධනය කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බව හෙතෙම කීය.
පවුල් තෝරා ගැනීමේදී සිදුවූ, නිර්ණායකවලට බර තැබීමේදී යමෙකුට මෙම වැඩපිළිවෙළට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් එමගින් ඔවුන්ට ද අයදුම් කිරීමට අවස්ථාව උදාවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ හිමිවන පරණ ප්‍රතිලාභීන්ට මේ සඳහා අයදුම් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, එම අයදුම්කරුවන් ලබාදුන් තොරතුරු තහවුරු කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
පසුගිය වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා ලෝක බැංකුවෙන් ප්‍රතිපාදන ලබාදුන්න ද , මෙම වසරේ මහභාණ්ඩාගාරය මගින් ඊට ප්‍රතිපාදන ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
රුපියල් බිලියන 205ක මුදල සපයාගැනීම සඳහා රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම සඳහා වූ සැලසුම් සියල්ල සකස් කර ඇති බවත් සියඹලාපිටිය මහතා මෙහිදී අවධාරණය කළේය.