fbpx
තවත්
    මුල් පිටුවspecialසමාජ ජාල 5ක ප්‍රධානීහු අමෙරිකාවේ නීතිය හමුවට -‍සකර්බර්ග් සමාව ගනී

    සමාජ ජාල 5ක ප්‍රධානීහු අමෙරිකාවේ නීතිය හමුවට -‍සකර්බර්ග් සමාව ගනී

    ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල හසුරුවනු ලබන සමාගම් 5 ක ප්‍රධාන විධායක නිලධාරීන් ඊයේ (31) ඇමරිකාවේ සෙනෙට් අධිකරණ කමිටුව වෙත කැඳවා ප්‍රශ්න කර තිබේ.

    ඔවුන්ගේ සමාජ මාධ්‍ය වේදිකාවල ළමා ආරක්ෂාව පිළිබඳව සෙනෙට් අධිකරණ කමිටුව ඉදිරියේ ඔවුහු සාක්ෂි දුන්හ.

    ඒ අනුව ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්සැප්, මැසෙන්ජර් අයත් මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප් (Snap), ඩිස්කෝඩ් (Discord) සහ පෙර ට්විටර් (Twitter) ලෙස හැඳින්වුණු වත්මන් එක්ස් (X) හි ප්‍රධානීහු මෙලෙස අධිකරණ කමිටුව හමුවට පැමිණ ඇත.

    මෙහිදී අවධානය යොමු වූයේ මාර්ගගත ක්‍රමවේදයන්හි පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් සමාජයට ඇතිවී තිබෙන අහිතකර බලපෑම් නැවැත්වීමට අදාළ ආයතන අපොහොසත් වීම පිළිබඳවයි.

    තමන් හෝ තම දරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ සූරාකෑමට ලක්වූ බව පැවසූ ළමුන්ගේ සහ දෙමාපියන්ගේ වාර්තාගත සාක්ෂි සහිතව විභාගය ආරම්භ විය.

    සියදිවි නසාගැනීම් හේතුවෙන් දරුවන් අහිමි වූ දෙමාපියෝ පැය ගණනක් පුරාවටම තම මියගිය දරුවන්ගේ පින්තූර නිහඬව ඔසවාගෙන සිටියහ.

    අධිකරණ කමිටුව විසින් සමාජ ජාල ආයතන ප්‍රධානීන්ගෙන් මෙම තත්වයට හේතු විමසා තිබේ.

    “අපගේ දරුවන් අන්තර්ජාලය හරහා මුහුණ දෙන බොහෝ අන්තරායන් සඳහා ඔවුන් වගකිව යුතුය. ඔවුන්ගේ සැලසුම්, තෝරාගැනීම් සඳහා වන ඉදිරිපත් කිරීම්, විශ්වාසය සහ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් ලෙස ආයෝජනය කිරීමට ඔවුන් අසමත් වීම, ඔවුන්ගේ ඇබ්බැහිය සහ මූලික ආරක්ෂාවට වඩා ලාභය යන සියල්ලම අපගේ දරුවන් සහ මුණුබුරන් අවදානමට ලක් කර ඇත.’ යනුවෙන් කමිටුවේ සභාපතිත්වය දරන ඩික් ඩර්බින් ආරම්භක අදහස් දැක්වීමේදී පැවසීය.

    සබාව උණුසුම් කළ මාර්ක් සකර්බර්ග් සමඟ ප්‍රශ්නෝත්තර වටයේදී, රිපබ්ලිකන් මිසූරි සෙනෙට් ජොෂ් හව්ලි විසින් මෙටා ප්‍රධාන විධායක නිලධාරියාගෙන් විමසා සිටියේ වින්දිතයන්ගෙන් කිසිවෙකුට සහ ඔවුන්ගේ පවුල්වලට තමන් මුහුණ දුන් දේ සඳහා පුද්ගලිකව වන්දි ලබා දී ඇත්ද යන්නයි.

    ‘මම හිතන්නේ නැහැ,’ සකර්බර්ග් පිළිතුරු දුන්නේය.

    ‘මෙහි වින්දිතයින්ගේ පවුල් පැමිණ සිටී. ඔබ ඔවුන්ගෙන් සමාව ගැනීමට කැමතිද?’ හව්ලි පැවසීය.

    සකර්බර්ග් සිටගෙන, ඔහුගේ මයික්‍රෆෝනය සහ සෙනෙට් සභිකයන්ගෙන් ඉවතට හැරී ගැලරියේ සිටි දෙමාපියන්ට කෙලින්ම කතා කළේය.

    “ඔබ සැමට මුහුණුපෑමට සිදුවූ සෑම දෙයක් ගැනම මට කණගාටුයි. ඔබේ පවුල්වලට විපතට පත් වූ දේවල් වෙන කිසිවකුට සිදුවිය යුතු නෑ.” ඔහු පැවසුවේ මෙටා සමාගම දරුවන් ආරක්ෂා කිරීම සඳහා කර්මාන්තයමය වශයෙන් උත්සාහයන් දැරීම සඳහා ආයෝජනය කර වැඩකරන බවයි.

    කෙසේවෙතත් සාක්ෂි දීමේදී සකර්බර්ග් පැවසුවේ ඇපල් සහ ගූගල්, සමාජ මාධ්‍ය සමාගම් නොවන නමුත්, පරිශීලකයින් බාලවයස්කරුවන් නොවන බව සහතික කිරීම සඳහා ඔවුන්ගේ වයස පරීක්ෂා කිරීම සඳහා වගකිව යුතු බවයි. සකර්බර්ග් නීති සම්පාදකයින්ට යෝජනා කළේ, මෙවැනි සමාජ ජාල යෙදුම් (Apps) හිමිකරුවන් නියාමනය කරන නීති සම්පාදනය කිරීම කොන්ග්‍රසයට “සුළු දෙයක්” යනුවෙන් පවසමිනි.

    නඩු විභාගයට සහභාගී වූ එක් මාපියකු වූයේ නවීන් රද්වාන් ය. ඔහුගේ නව යොවුන් වියේ දියණිය COVID ලොක්ඩවුන් ආරම්භයේදී සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ව්‍යායාම පිළිබඳ වීඩියෝ නැරඹීමට පටන් ගැනීමෙන් පසු TikTok සහ Instagram හි “භයානක අන්තර්ගතවල කළු කුහරයකට” උරාගත්තාක් මෙන් වූ බව විදෙස් වාර්තාවක සටහනක දැක්වේ. ඇය මාස කිහිපයකින් ආහාර අරුචි‍ය රෝගයෙහි බරපතළම ත්ත්වයට ගොදුරු වූ අතර මරණාසන්න වූ බව රද්වාන් මෙහිදී සිහිපත් කළේය.

    ලිංගික විලෝපිකයන්, ඇබ්බැහි වන සුළු අංග, සියදිවි නසාගැනීම් සහ අයහපත් ආහාර ගැනීමේ රටාවන්ට ඇති පෙළඹවීම්, යථාර්ථවාදී නොවන රූපලාවන්‍ය ප්‍රමිතීන්, වාචික හා මානසික හිරිහැර කිරීම් යනාදිය සමාජ මාධ්‍යවල පරිශීලකයන්ට ඇතිව තිබෙන ගැටළු කිහිපයක් පමණි.

    ළමා උපදේශකයින් සහ නීති සම්පාදකයින් පවසන්නේ මෙම සමාජ ජාල සමාගම් එහි පරිශීලකයන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.

    තාක්ෂණික සමාගම් ප්‍රධානීන්ට කෙතරම් පීඩනයක් දුන්න ද, අලුතෙන් ගැටලු නිර්මාණය වූවද, මෙම තාක්ෂණ සමාගම් ඔවුන්ව පාලනය කරන නීති සම්පාදනයට සහය ලබාගැනීමට උත්සහ කළද මෙම පනත් බොහොමයක ප්‍රගතිය මෙතෙක් නොපැහැදිලි ය. ඒ පිළිබඳ ෆෙඩරල් නීති සම්පාදනයේ ඉරණම තවදුරටත් අවිනිශ්චිතව පවතී. මූලික නීති කිහිපයක්වත් ඉදිරියට ගෙනයා නොගත හැකි මට්ටමක පැවතීම පිළිබඳ නීති සම්පාදකයන් සිය කනස්සල්ල පළකර ඇත.

    අධිකරණ කටයුතු පිළිබඳ එක්සත් ජනපද සෙනෙට් කමිටුව, සෙනෙට් අධිකරණ කමිටුව ලෙස ද හැඳින්වේ.  අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව අධීක්ෂණය කිරීම, විධායක සහ අධිකරණ නාමයෝජනා සලකා බැලීම සහ අපේක්ෂිත නීති සම්පාදනය සමාලෝචනය කිරීම ඔවුන්ගේ කාර්යභාරයයි. මෙය එක්සත් ජනපද සෙනෙට් සභිකයින් 21 දෙනෙකුගෙන් යුත් ස්ථාවර කමිටුවකි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.