අත්අඩංගුවට ගෙන සිටින ‘විශ්ව බුද්ධ’ යැයි කියාගත් චීවරධාරියාට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශය මත මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (26) අධිකරණයට දන්වා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලේ මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබන බවයි.
එම චීවරධාරියාට අදාළ නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පස්වරුවේ යළි කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
සැකකරු නිදහස් කළහොත් මහජන කැළඹීමක් ඇති කරන බැවින් ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් සලකා බැලූ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු පෙබරවාරි 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ බුදුදහමට අපහාසවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි සැකකරු ඇප කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ජනවාරි 23 වැනිදා යළි අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
රත්නපුරේ විමලබුද්ධි නමින් මහණ වී සිටි ඔහුගෙ මෑතකාලීන ක්‍රියාකලාපය හේතුවෙන් භික්ෂූත්වය අහෝසි කිරීමට ද රාමඤ්ඤ නිකායේ සංඝනායක හිමිවරු පියවර ගනු ලැබූහ.