🔹 “ආයෝජන සඳහා සීමාවන් ඉවත් කරන්න කැපවෙනවා”
-ජනපති කියයි
2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයේ සිට යථාතත්ත්වයට පත්වීම සහ වර්ධනය දක්වා ප්‍රවේශ වීමේ වේදිකාව සැකසී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර ප්‍රජාව වෙත අවධාරණය කර තිබේ.
2023 වර්ෂයේ දෙසැම්බරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අදාළ වැඩසටහනෙහි පළමු සමාලෝචනය අනුමත කිරීම මගින් මෙම හැකියාව ලැබි ඇතැයි ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවකට පසුගිය දා (15) ස්විස්ටර්ලන්තයේ දී එක්වෙමිනි.
ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 54 වන වාර්ෂික රැස්වීමට සමගාමීව මෙය සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය සහ අනාගත වර්ධන අපේක්ෂාවන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.
පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකාර්මික නවීකරණය, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණ සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇතිකර ගැනීම තුළින් ආයෝජනය කිරීමේ අවස්ථා පවතින බව ද ජනාධිපති පැවසීය.
වෙළඳපල ප්‍රවේශය වැඩි දියුණු කිරීම, වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තරඟකාරිත්වය සහතික කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත නීති සහ කොමිෂන් සභා පිළිබඳව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආයෝජන සඳහා සීමාවන් ඉවත් කිරීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා තමා අඛණ්ඩව කැප වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය ආයෝජකයන්ට සහතික විය.