fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'යුක්තියට' රතු එළියක්

    ‘යුක්තියට’ රතු එළියක්

    මෙරට මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට දැඩි ආරක්‍ෂාව පදනම් කරගත් වැඩපිළිවෙළක් අනුගමනය කිරීම ගැන තමන් ඉතා කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ දැනට ක්‍රියාත්මක වන “යුක්තිය” මෙහෙයුම යළි සමාලෝචනය කරන ලෙසයි.

    ශ්‍රී ලංකා රජය විසින් මානව හිමිකම් මත පදනම් වූ මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති වෙනුවට, රටේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට දැඩි මෙවැනි පියවරක් අනුගමනය කිරීම ගැන එම කාර්යාලය පසුගියදා (12) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුණි.

    දෙසැම්බර් 17 වැනිදා සිට මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයන් 29,000ක් අත්අඩංගුවට ගෙන ඇත. ඇතැමුන් අයහපත් ලෙස සැලකීමට සහ වධහිංසා පමුණුවා ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල නිවේදනයේ දැක්වේ.

    ආරක්ෂක අංශ විසින් සෝදිසි වරෙන්තු නොමැතිව වැටලීම් සිදු කර ඇති බවත්, මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සහ භාවිතා කරන්නන් යැයි සැකකෙරෙන අය රඳවා තබාගෙන සිය ගණනක් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යවා ඇති බවත් එහි සඳහන් ය.

    මෙම මෙහෙයුම් අතරතුර සහ ඉන්පසුව, අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම, අයහපත් ලෙස සැලකීම, වධහිංසා පැමිණවීම සහ ප්‍රසිද්ධියේ නිරුවත් කර සෝදිසි කිරීම ඇතුළු උල්ලංඝනයන් ගණනාවකට පුද්ගලයන් ලක් වී ඇති බව වාර්තා වන්නේ යැයි එම කාර්යාලය කියයි.

    තමන් පොලිස් නිලධාරීන්ගේ තර්ජනවලට මුහුණ දුන් බවට අත්අඩංගුවට ගත් අය චෝදනා කරන්නේ යැයි නීතිඥවරුන්ද පවසන බව එහි දැක්වේ.

    මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට බරපතළ අභියෝගයක් වන නමුත්, දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම විසඳුම නොවන බව එම කාර්යාලය මෙරට බලධාරීන්ට අවධාරණය කරයි.

    මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ එයට තුඩු දෙන සාධක ප්‍රථමයෙන්ම මහජන සෞඛ්‍ය හා සමාජීය ප්‍රශ්න වේ.

    මත්ද්‍රව්‍ය විකිණීම හෝ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයන්ට මානුෂීයව සැලකීමට හිමිකම් ඇති බව එමම කාර්යාල‍ය කීය.

    එමෙන්ම නියමිත ක්‍රියාවලියට පූර්ණ ගෞරවයෙන් සහ විනිවිද භාවයෙන් යුක්තව, සාධාරණ නඩු විභාගවලට යටත් විය යුතු බවද එහි දැක්වේ.

    මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ට, ඒවාට ඇබ්බැහි වීමේ මූලික වූ හේතු සොයාබලා එම ප්‍රශ්න විසඳීමට සහ ඔවුන් සමාජයට නැවත සමාජගත කිරීමට උපකාර වන සුදුසු සහය දීම, වැඩසටහන් සැපයිය යුතු බව ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ අදහසයි.

    මත්ද්‍රව්‍ය භාවිතය සාපරාධීකරණය කිරීම සහ පුද්ගලික භාවිතය සඳහා මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම ඇතුළුව ඵලදායී ඖෂධ ප්‍රතිපත්ති සකස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පසුගිය වසරේ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින වාර්තාවක් නිකුත් කළේය.

    සමාජයේ පවතින නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටළු විසඳීමේදී මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයන් ක්‍රියාත්මක කිරීමටත් විශේෂයෙන් සෞඛ්‍ය සඳහා ඇති අයිතිය ද එහිදී ක්‍රියාත්මක කරන ලෙසත් එම කාර්යාලය බලධාරීන්ට දැනුම් දෙයි.

    සිය අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම, වධහිංසා පැමිණවීම, අයහපත් ලෙස සැලකීම, නියමිත ක්‍රියාවලිය සහ සාධාරණ නඩු විභාග අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම යන චෝදනා තරයේ සහ අපක්ෂපාතීව විමර්ශනය කර, යුක්තිය ඉටු කළ යුතු බව ද ජගතා මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. මුං එකෙක්වත් කන්ටේනර් පිටින් කුඩු ගේ උන් අල්ලන් නෑ. පොලිස් ඇඳුම් දාගෙන ඉන්නේ ජරා කන කපුටාස්ලා. හාල්මැස්සො අල්ලනවා තල්මස්සු බේරෙනවා. බේරෙනව නෙමෙයි බේරනවා

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img