විකෘති මතවාදයන් ප්‍රචාරය කරමින් අන්තවාදී දේශන පවත්වමින් බුද්ධ දේශනාවන්ට වැරදි අර්ථ කථනය දෙමින් රටපුරා දේශන පවත්වමින් හෝමාගම මාකුඹුරේ පිහිටි නිවසකදී වස පානය කර සියදිවි නසාගත් පුද්ගලයාගේ තවත් අනුගාමිකයෙක් වස වර්ගයක් පානයකර සියදිවි හානිකරගෙන තිබේ.
පොලොන්නරුව සිරිපුර පළුදෙණියේ පදිංචිකරුවෙක් වන අමල්ක විමලරත්න නැමැති 27 හැවිරිදි තරුණයෙක් මෙසේ සිය දිවි හානිකරගෙන ඇත.
මෙම තරුණයා පළුදෙනිය ගම්මානයේ කුඹුරුයායේ පැලක් තුළ වස පානයකර සියදිවි හානිකරගෙන තිබේ.
මෙම තරුණයා විවහාකයෙකි. ඔහු 2017 වසරේ සිට 2020 වසර දක්වා ඔහු රුවන් ප්‍රසන්න නැමැති මිස දුටුවාගේ දේශනවලට නිරත්නතරයෙන් සම්බන්ධ වී ඇති බව පොලීස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
එකල එම මිසදුටුවා පදිංචිව සිට ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය රිදීඇල ප්‍රදේශයේය. අනතුරුව ඔහු ගේදොර අතහැර කොට්ටාවට පැමිණ එහි තට්ටු නිවාසයක කුලීනිවසක රැදෙමින් දේශන පවත්වවමින් සිට ඇත. එම දේශනාවලටද වස පානයකර සියදිවි හානිකරගත් තරුණයා පැමිණ ඇති බව සඳහන්ය.
ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගල්මෝල් හිමිකරුවෙකුගේ පුතෙක් වන ඔහු එක්දරු පියෙකි. තරුණයා පියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධව සිට ඇති බවද පොලීසිය කියයි.
අන්තවාදී දේශන පවත්වමින් සිට සියදිවි හානිකරගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවමගුලට ද මෙම තරුණයා සහභාගිවී ඇති බවත් පොලීසිය කියයි.
රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා පසුගිය 28 වෙනිදා වස වර්ගයක් පානයකර සියදිවි හානිකරගනු ලැබුවේ මාකුඹුරේ මහල් නිවාස සංකීර්ණයේ ඔහු රැදී සිටි නිවස තුළදීය.
ඔහුගේ අවසන් කටයුතු සිදුවූ දින ඔහුගේ බිරිඳ සිය දරුවන් තිදෙනා සමඟ වස වර්ගයක් පානයකර සියදිවි හානිකරගෙන තිබුණි.
අනනතුරුව අම්බලන්ගොඩ පදිංචි තරුණයෙක්ද යක්කල පදිංචි තරුණියක්ද පසුගිය 02 වෙනිදා වස වර්ගයක් කා සියදිවි හානිකර ගත්තේය.
ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවත් ඔවුන් මිසදුටු දේශකයාගේ අනුගාමිකයන් බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබුණි. එම යුවලද එම මිස දුටුවාගේ අවසන් කටයුතු සිදුවන දින ගොස් තිබුණි.
එම යුවල මෙන්ම සිරිපුර තරුණයාද එම මිසදුටුවාගේ දේශනවලට වහ වැටී සිට ඇති බවද හෙළිවී තිබේ.
මෙම තරුණයා පසුගිය 03වෙනිදා රාත්‍රී ආහාර පවා ගෙන නිවසේ නිදාගෙන සිට ඇත. මධ්‍යම රාත්‍රීයේ ඇහැරී නිවසින් පිටතට ගොස් වස පානයකර ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ. වස පානයකර අසාධ්‍යව සිටි ඔහුව පවුලේ සාමාජිකයන් විසින් රෝහල්ගතකර ඇති අතර ඔහු මියගොස් ඇත්තේ ඊයේ දිනයේදීය.
රුවන් ප්‍රසන්න ගුණරත්නගේ බිරිඳ හා දරුවන්ද, ඔහුගේ අනුගාමිකයන් වන යක්කලදීත් මහරගමදීත් මිය ගිය තරුණයා හා තරුණියත් මෙම තරුණයාත් සියදිවි හානිකරගෙන ඇත්තේ මධ්‍යම රාත්‍රී කාලයේදී වන බැවින් ඒ ගැන කුතුහලයක් මේ වන විට මතුවී තිබේ.
සියදිවි හානිකරගත් රුවන් ප්‍රසන්න ගුණරත්න බුදුදහම විකෘති කරමින් වෙනම මත සමාජ ගතකරමින් සිට ඇති බවත් ඊට ගොදුරු වී ඇත්තේ තරුණ ප්‍රජාව බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
අහඹු ලෙස තැන තැන සිදුවන මෙම සියදිවි හානිකර ගැනීම රැල්ලක් බවට පත්වීමට ඉඩ ඇති බැවින් එය වැලැක්වීම සඳහා පොලීසිය මෙම පුද්ගලයාගේ අනුගාමිකයන් සොයා විමර්ශනයක්ද ආරම්භකර තිබේ.
එහිදී ඔහු සිය අනුගාමිකයන් සම්බන්ධකරගෙන නිර්මාණයකර ඇති “සඳහම් සරණ“ නම් වූ මුහුණු පොතේ පිටුව හා සම්බන්ධව සිටින පිරිස් සම්බන්ධයෙන් ද බුද්ධි අංශ ඇතුළු පොලීසිය දැඩි අවධානයකින් සිටින බව සඳහන්ය.