fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්වාහන ලියාපදිංචියට TIN නැතුව නම් එන්න එපා: ලියාපදිංචි වෙන හැටි‍ මෙන්න..

    වාහන ලියාපදිංචියට TIN නැතුව නම් එන්න එපා: ලියාපදිංචි වෙන හැටි‍ මෙන්න..

    පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) වාහන ලියාපදිංචි කිරීම සහ මාරුකිරීම සම්බන්ධ සේවාවන් ලබාගැනීමේදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) තිබීම අනිවාර්ය කර තිබේ.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ TIN අංකය නොමැතිව වාහනවල අයිතිය හෝ ලියාපදිංචිය සිදු කළ නොහැකි බවයි.

    එම සේවාවන් අවශ්‍ය නම්, හැකි ඉක්මනින් TIN අංකය ලබාගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    TIN අංකය නොමැතිව දෙපාර්තමේන්තුවට පැමිණ කාලය නාස්ති නොකරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර පිටපතක් මුද්‍රණය කරගත හැකි වෙයි.

    ඒ නිසා එම අයදුම්පත ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවේ. එය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මාර්ගගතව ලබාගත හැකිය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් බදු අංකයක් සඳහා වන අයදුම්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකිය.

    එම ඉල්ලීම සමාලෝචනය කිරීමෙන් පසුව බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සඳහන් සහතිකයක් සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයක් (PIN) අදාළ පුද්ගලයා විසින් ලබාදී ඇති ඊමේල් ලිපිනයට ලැබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ බදු අංකය ලබාගැනීමේදී ඒ සඳහා වන ලියාපදිංචි අයදුම්පතක් සම්පූර්ණ කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 2 වන මහලේ ප්‍රාථමික ලියාපදිංචි අංශයට හෝ යම් අයකුට ආසන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට ඉදිරිපත් කළ හැකිය.

    මාර්ගගතව එනම් ඊ සේවාව හරහා බදු අංකය ලබාගැනීම සඳහා ලියාපදිංචිවීමේදී ජාතික හැඳුනුම්පතෙහි දෙපැත්තම ස්කෑන් කර එහි PDF පිටපතක් උඩුගත (අප්ලෝඩ්) කළ යුතුය.

    ජාතික හැඳුනුම්පතේ ඇති ලිපිනයෙහි සහ දැනට පදිංචි ලිපිනයෙහි වෙනසක් ඇත්නම් එය සනාථ කිරීම සඳහා පිළිගත හැකි ලේඛනයක පිටපතක් ද උඩුගත (අප්ලෝඩ්) කිරීමට කටයුතු කළ යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    2024 ජනවාරි 01 දින සිට සෑම වයස අවුරුදු 18 ට වැඩි අයකු විසින්ම බදු අංකයක් ලබාගැනීම රජය මගින් අනිවාර්ය කර ඇත.

    මේ අංකය ගත් පමණින් කෙනෙක් බදු ගෙවීමට බැඳීමක් ඇති නොවන අතර ඒ සඳහා බැඳීමක් ඇති වන්නේ වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් පමණකි.

    මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ ලියාපදිංචි වීම
    👉 මෙතැනින් 👈

    වැඩි විස්තර
    👉 ලියාපදිංචිය පිළිබඳ 👈
    👉 විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ 👈

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.