fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"දේශපාලනයට වඩා සේවයක් තානාපතිකමකින් රටට කළ හැකි බව මම ඔප්පු කළා"

    “දේශපාලනයට වඩා සේවයක් තානාපතිකමකින් රටට කළ හැකි බව මම ඔප්පු කළා”

    • – අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ කියයි

    ඕස්ට්‍රෙලියාවේ හා ස්විස් හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිමවා 1988 පළාත් සභාවලින් දේශපාලනයට පැමිණි මහින්ද සමරසිංහ අනතුරුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂ ප්‍රධාන සංවිධායකකම් හා කැබිනට් 05 ක් ඇතුළු ඇමතිධුර 07 ක් දැරුවේය.

    රටවල් 168 කට අදාළ අන්තර් පාර්ලිමේන්තු සංවිධානයේ මානව හිමිකම් කමිටුවේ ඡන්දයෙන් පත්වූ සභාපති ලෙස ද රටට ගෞරව ගෙනා ඔහුගේ ඇමෙරිකානු තානාපතිකම හරහා කළ කී දේ නව වසරේ උදාවේ අපි කතාබහ කරමු.

    ඇමෙරිකානු තානාපති භූමිකාව තුළ කළ කී දේ ගැන සෑහීමකට පත්වෙනවාද?

    ඔව්.දේශපාලනයට වඩා රටට වැඩි සේවයක් කරන්න මම පාර කපා ගත්තා.

    මොකද්ද ඔබ අලුතෙන් කපාගත්ත පාර?
    මගේ ජාත්‍යන්තර අත්දැකීම් හා සබඳතා ඊට මුල් වුණා. පහුගිය ඡන්දෙන් දිනලත් වසර 30 ක මගේ අත්දැකීම්වලින් පාලකයො වැඩගත්තෙ නෑ. හිටපු ජනපති ගෝඨාභය මට ආරාධනා කළා මේ තානාපතිකමට. ලෝකයේ බලවත්ම රටේ ලංකාවෙ නියෝජිතයා ලෙස විශාල සේවයක් කලහැකි නිසා මම වැඩේ බාරගත්තා. හිතුවටත් වඩා වැඩිදෙයක් මම කළා.

    කඩාවැටුණු ලංකා ආර්ථිකය නගා හිටුවන්න ඔබ දැක්වූ දායකත්වය කුමක්ද?
    මම උසස් අධ්‍යාපනය ලැබුවෙ හා වෘත්තියෙන් ආර්ථික ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති කෙනෙක්. ඒ මත පදනම්වයි මම ඇමෙරිකාවෙදි ක්‍රියා කළේ.

    ලංකාවට ආර්ථික ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ලබන්න නම් IMF වැනි ලොව පිළිගත් සංවිධාන සමග වැඩ කළ යුතු වෙනවා. හිටපු ජනපතිගෙ උපදෙස් මත එහි ප්‍රධානි එක්ක මම කතා කරල ලංකාවට ඇති අභියෝග පැහැදිලි කලා. IMF දෙන්නෙක් ලංකාවට ගිහින් හිටපු ජනපති එක්ක කතාකලා. ඒ දෙන්නගෙන් කෙනෙක් අද ද: කොරියාවෙ මහබැංකු අධිපතියි.
    දින 2 – 3කින් IMF වැඩේට සූදානම් බව හිටපු ජනපති IMF ට කිව්වා. ඒ වගේම ලංකාව තුළ දේශපාලනික තීන්දු ගන්න රනිල් ජනපතිතුමා කැපවුණේ නැතිනම් IMF මූල්‍ය සහාය හා පිලිගැනීම ලංකාවට ලැබෙන්නෙම නෑ.

    ඔබේ මැදිහත්වීමෙන් වෛද්‍ය හා සෙසු ක්ෂේත්‍ර හරහා ලංකාවට ලබාදුන් ප්‍රතිලාභ මොනවාද?
    ඩොලර් නැතිවීමෙන් ලංකාවේ විශාල බෙහෙත් හිගයක් ආවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ අමාත්‍යාංශය හරහා තානාපතිල දැනුවත් කලා ආධාර ලෙස බෙහෙත් ලබා දෙන්න කියලා. බෙහෙත් ලැයිස්තුත් එවා තිබුණා.

    මම ඇමෙරිකාවේ ආයතන ප්‍රධානීන්ට හා මට සබදතා ඇති අයට කරුණු පැහැදිලි කලා. ලංකාවට නොමිලේ බෙහෙත් දෙන්න ආයතන කිහිපයක් කැමති කර ගත්තා. කෙටි කාලයකින් ඩොලර් මිලි 53 ක (රු. කෝටි 1725ක පමණ ) බෙහෙත් ලංකාවට යැවීමට හැකිවීම ගැන මම ඇතුළු වොෂින්ටන් එම්බසිය ආඩම්බර වෙනවා. පිළිකා හෘද මොළය ඇතුළු රෝග සදහා මිල අධිකම ඉහළම ප්‍රමිතියේ බෙහෙත් අපි යැවිවෙ. ප්‍රවාහන වියදම පවා ඇමෙරිකාවෙන් ලබා ගන්න අපට හැකිවුණා.

    ඔබේ මේ කටයුත්ත ලංකාවේ ඖෂධ මාෆියාවට හිසරදයක්. අභියෝග ආවෙ නැද්ද?
    ඇමෙරිකාවෙන් නොමිලේ බෙහෙත් හොයනවට වඩා අමාරු වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ම එවපු ලැයිස්තු වලට හොයපු බේත් වලට අනුමැතිය ගැනීමයි. මට ජනාදිපතිට පවා කීප වරක් කතා කරන්න වුණා.අවංක නිලධාරීන් උදව් කලා.

    බෙහෙත් වැඩිපුර එවන්නේ ඉන් ඔබටත් පුතිලාභ ලැබෙන නිසාද? නැතහොත් ඇමෙරිකානු ඖෂධ පරීක්ෂණවල මීයන් බවට ලංකාවෙ අය පත්කරගෙන නිසාද?
    නොමිලේ දෙන බෙහෙත්වලට මොන ලෝකෙ ද කොමිස් දෙන්නේ. මිලදී ගන්නවනම් නේ දෙනවනම් කොමිස් දෙන්නේ..
    ලෝකයේම භාවිතා කරන ඉහළම බෙහෙත් අපි ඇමෙරිකාවෙන් එවිවේ. ඒවා සමහර රටවල වගේ පැදුරුවල දාල අව්වෙ වේලන බාල බෙහෙත් නෙවෙයි.

    ඖෂධවලට අමතර සහායක් ඇමෙරිකාවෙන් ලංකාවට ලබාගන්න බැරි වුණාද?
    US Aid එකෙන් ඩොලර් මිලියන 300 (රු කෝටි 9990) ක පමණ උදව් පසුගිය වසර 1 1/ 2 දි ලංකාවට ලැබුණා. මහකන්නයට පොහොර ගත්තෙ ඒ හරහායි. DFC ආයතනය ඩොලර් බිලියනයක (රු. කෝටි 32300) විශාල මුල්‍ය පහසුකමක් ලංකාවට දුන්නා. කොළඔ බටහිර ජැටියට දුන් ඩොලර් මිලි‍යන 553 ත් ඊට ඇතුලත්. ඒ ප්‍රධානියා එක්ක තව ආයෝජන රැසක් ලංකාවට ගේන්න කතාකරගෙන යනවා. තව ඇමෙරිකානු ආයතන හා සංවිධානවලින් ලංකාවට විශාල උදව් ලබාදෙන්න අපි මැදිහත් වුණා.

    ඔබ හැම ආණ්ඩුවකම ඇමති, මන්ත්‍රී, තානාපති. එහෙම වෙන්නෙ කොහොමද.?
    1987 පළාත් සභා හා 94 ඉදල මම පාර්ලිමේන්තුවේ ඉන්නවා. ජනතාවයි මාව ගෙනාවේ. ඒ අතරෙ මගේ හැකියාවන් හඳුනාගත් සමහර නායකයින් හා සමහර ආණ්ඩු මගෙන් රටට වැඩගන්නවා. මට ඒ ගැන සතුටුයි.

    මෙය මැතිවරණ වසරක්. ඔබ යළිත් දේශපාලනයට එනවාද?

    දේශපාලනයට වඩා වැඩි සේවයක් මෙවැනි තනතුරකින් කල හැකියි. මම එය ඔප්පු කල බව හුඟදෙනෙක් කියනවා. එම සේවය තවදුරටත් රටට කරන්න මම සූදානම්. ඇමෙරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා වඩාත් ගොඩනැගු නිසයි බොහෝ උදව් අද ලැබෙන්නේ. මෙක්සිකෝවෙත් වෙළෙඳ කටයුතු සඳහා ගිවිසුමක් අත්සන් කළා.

    අසරණ වෙලා ඉන්න කළුතර දිසාව ඇතුළු ලංකාවේ ජනතාවට 2024 ට ලබාදෙන පණිවිඩය?
    ඉවසීම, නීතිගරුකවීම, එකමුතුකම රට වෙනුවෙන් කැපවීම හා නාස්තිය දූෂණය පිටුදැකීම නව වසරේ අධිෂ්ඨානය කරගනිමු. දියුණු රටවල් එතනට ආවේ මැජික්වලින් නොව එවැනි කැපවීම් වලින් බව ලංකාවම හිතට ගැනීම වටිනවා.

    සංවාද මෙහෙවර :- අශෝක ජයතුංග
    (වොෂින්ටන් DC සිට..)

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.