fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාවාරමකට හසුවී මියන්මාරයේ සිරවී ඉන්න ලාංකිකයන් වහා නිදහස් කර දෙන්නැයි මෙරට රජයෙන්...

    ජාවාරමකට හසුවී මියන්මාරයේ සිරවී ඉන්න ලාංකිකයන් වහා නිදහස් කර දෙන්නැයි මෙරට රජයෙන් ඉල්ලීමක්

    මියන්මාරයේ මයාවඩ්ඩි ප්‍රදේශයේ දැනට රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් වහා නිදහස් කරගැනීම සඳහා මියන්මාර රජයේ සහාය සහ හදිසි මැදිහත්වීම ඉල්ලා සිටීමට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද කටයුතු කර තිබේ.

    ඒ එම ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්නය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය අලි සබ්රි මහතා අද (03) පස්වරුවේ මියන්මාර නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ සමඟ දුරකථන සංවාදයකදී ය.

    විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරුවලට අනුව, සයිබර් අපරාධ සඳහා මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු මයිවාඩි ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටිති.

    එලෙස රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලෙස ද විදේශ අමාත්‍යවරයා මියන්මාර විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

    මේ සම්බන්ධයෙන් පසුගියදා බැංකොක් නුවර පැවති බිම්ස්ටෙක් විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව පැවති හමුවකදී ද අමාත්‍ය අලි සබ්රි මියන්මාර විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මීට පෙර කතා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

    මියන්මාර රජය සමඟ සාකච්ඡා කර ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම පිළිබඳව අඛණ්ඩව ගවේෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.